මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ බිරිඳගේ මව සතුව තිබූ රන් පවුම් 360ක් ඇතුළු දේපොළ තහනම්

2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලය තුළ දකුණු ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අත්අඩංගුවට පත්වූ සැකකරුවෙකු‌ගේ බිරිඳගේ මව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (15) සවස මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ජාවාරම්කරු ඉපැයූ මුදලින් මිලදීගත් දේපළ සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී රන් භාණ්ඩ තොගයක් මෙම සැකකාරිය විසින් මූල්‍ය ආයතන කිහිපයක උකස් කර පසුව මන්නාරම ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැල් කිහිපයකට විකිණීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

ඒ් අනුව මුදල් විශූද්ධීකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව නීති විරෝධී ක්‍රියාකාරකම් මගින් උපයාගන්නා ලද භාණ්ඩ බව දනිමින්ම උකස් කිරීම හා විකිණීම සිදු කිරීම යන වැරදි සැකකාරිය විසින් සිදුකර ඇති බැවින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර ඇත.

සැකකාරිය වයස අවුරුදු 66 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ජාවාරම මගින් උපයාගත් දෙමහල් නිවසක්, කඩකාමර 05 කින් යුත් නිවසක්, මෝටර් රථයක් හා රන් පවුම් 360 කට ආසන්න රන් ආභරණ ප්‍රමාණයක් සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මහාධිකරණයේ නඩු පවරා භාවිතය තහනම් කර එම නියෝග දීර්ඝ කිරීම සිදු කරමින් පවතී.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website