විදෙස්ගතව සැඟව සිටින බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් බටුවත්ත චාමර තම බිරිඳගේ නමින් මිලදී ගෙන ඇති ජා ඇළ වැලිගම්පිටියේ රුපියල් ලක්ෂ 400ක වටිනාකමකින් යුත් තෙමහල් නිවසක් දින 7ක කාලයක් සඳහා තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද (13) පියවර ගත්තේය.
මනෝජ් සුරංග නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගත් මුදලින් මෙම නිවස මිලදීගෙන ඇති බවට සාධාරණව විශ්වාස කිරීමට තරම් කරුණු අනාවරණ වීම හේතුවෙන් මෙම තහනම් කිරීම කළ බව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පැවසුවේය.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ මෙම දේපළ සම්බන්ධයෙන් මහාධිකරණය වෙත කරුණු වාර්තා කර තහනම් කිරීමේ නියෝගය දීර්ඝ කිරීමට කටයුතු කරන බවය.
මෙම නිවස වෙනත් පිරිසක් මීට මාස දෙකකට පමණ පෙර කුලී පදනම මත ගෙන වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එහි සිටි වැඩිහියන් 9දෙනෙකු හා සාත්තු සේවිකාවන් අද දින මෙම නිවසින් පිටව ගොස් ඇති බව ද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පැවසුවේය.














