
නීතිවිරෝධී ලෙස බීඩි කොළ රට තුළට ගෙන ඒම හේතුවෙන් රජයට අහිමි වන ආදායම වැළැක්වීමට පියවර ගත යුතු අතරම, බීඩි කර්මාන්තයේ නියැලී සිටින අය ආරක්ෂා කිරීමට ද පියවර ගත යුතු බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අවධාරණය කරන ලදී.
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු කරන ලදී.
බීඩි නිෂ්පාදනය සඳහා භාවිතා කරන කොළ ආනයනය කිරීමේදී බද්දක් අය කරන අතර, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විශාල කොළ ප්‍රමාණයක් රට තුළට ගෙන එන බව ද කාරක සභාවේදී අනාවරණය විය. මෙය වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතත්, නීති විරෝධී බීඩි කොළ හේතුවෙන් රජයට ලැබිය යුතු බදු ආදායමට බලපෑම් එල්ල වී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.
නීති විරෝධී බීඩි කොළ ජාවාරම වැළැක්වීම සඳහා අනුගමය කළයුතු විවිධ ක්‍රම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. කර්මාන්තයේ නියැලී සිටින අය නීති විරෝධී ලෙස බීඩි කොළ රට තුළට ගෙන ඒම වැළැක්වීමේ අවශ්‍යතාවය ද කාරක සභාව අවධාරණය කරන ලදී.
ඊට අමතරව, නීති විරෝධී බීඩි කොළ භාවිතා කරමින් බීඩි කර්මාන්තයේ නියැලෙන අයගෙන් රජයට ලැබිය යුතු බදු අය කර ගැනීමට නොහැකි බැවින්, මෙය වැළැක්වීමට සහ රජයට සුදුසු බදු ආදායමක් උපයා ගැනීමට යාන්ත්‍රණයක් සකස් කරන ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
මෙම රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජිකයන් වන නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් රණසිංහ, එරංග වීරරත්න, නිශාන්ත ජයවීර, චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, (ආචාර්ය) නන්දන මිල්ලගල, තිළිණ සමරකෝන්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. ඊට අමතරව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, දේශීය අදායම් දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා පොලිසිය සහ නාවික හමුදාවේ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.











