බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මිල ලබන මැයි මාසය දක්වා වැඩි නොකරන බවට ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමය ඊයේ (26) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී පැවසීය.
මැද පෙරදිග කලාපීය යුධ ගැටුම් හමුවේ වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්ත්වය තුළ බිස්කට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන කර්මාන්තයට ඇති කර තිබෙන බලපෑම් සහ එය කළමනාකරණයට එම කර්මාන්තකරුවන් ගන්නා තීරණ පාරිභෝගිකයාට බලපාන ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මෙම හමුව කැඳවා තිබුණි.
පාරිභෝජන භාණ්ඩ මිල ඉහළ යාම මේ මොහොතේ පාරිභෝගිකයාට දරා ගත නොහැකි අතර ගෝලීය තත්ත්වය විසින් ඇති කර තිබෙන බලපෑම තුළ මෙරට බිස්කට් කර්මාන්තයේ නිරත පිරිස් රැකගනිමින්, පාරිභෝගිකයා ද පීඩාවට පත්වීම අවම වන ලෙස කළමනාකරණය කරගැනීම රජයේ අපේක්ෂාව බව අවධාරණය කළෙමි.
මෙම අසීරු අවස්ථාවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු විසඳා දීමට රජය මැදිහත්වීමට සූදානම් බවත්, දුෂ්කරතා මධ්‍යයේ වුවද පාරිභෝගිකයා ගැන සිතා කටයුතු කරන ලෙස මෙහිදී සඳහන් කළෙමි.
මෙහිදී ලංකා රස කැවිලි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතා අදහස් දක්වන ලදී.
“අපි ස්තුතිවන්ත වෙනවා අපේ මේ කර්මාන්තය ගැන අවධානය යොමු කිරීම පිළිබඳව. ඇත්තටම අපි මේ රස කැවිලි හිමියන්ගේ සංගමය කිව්වට බිස්කට් විතරක් නෙවෙයි, අයිස් ක්‍රීම්, චොක්ලට් මේ සියලු දෙනාම අපේ සාමාජිකයෝ. පනස් දහසක පමණ සේවක සංඛ්‍යාවක් සෘජුවත්, ලක්ෂ පහකට අධික සේවක සංඛ්‍යාවක් වක්‍රවත් මෙම කර්මාන්තය සමඟ රැදී සිටිනවා. මෙරට වෙළෙඳපොළ ඉල්ලුමට අවශ්‍යය 95%කම නිෂ්පාදන සිදුකරන එකම ස්වයංපෝෂිත කර්මාන්තය මෙම කර්මාන්තයයි. අපි හිතුවට මේ ලංකාවේ රස කැවිලි කියලා මේ සඳහා වසර දහයක කාලය තුළ අපේ ආයෝජකයන් බිලියන 15කට වැඩි තාක්ෂණික ආයෝජනයන් සිදුකර තිබෙනවා. අද අපේ මේ හුඟක් නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට සෞඛ්‍ය සම්පන්නව ජාත්‍යන්තර වට්ටෝරු අනුව තමයි හදන්නේ.
ජාත්‍යන්තර නිෂ්පාදන සමග තරඟකාරීව කටයුතු කරන අපි හරිම ශක්තිමත්ව සිටින දේශීය කර්මාන්තයක්. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි යුටිලිටි කොස්ට් එක. පහුගිය කාලයේ පුරාම මේවායේ කොස්ට් එක ගොඩක් වැඩිවෙලා තියෙනවා. ඊට අමතරව අපේ ප්‍රධාන අමුද්‍රව්‍ය සියල්ල ආනයනිකයි. පහුගිය කාලේ පුරාවට මේවා මිල වැඩිවුණා. අපි කොවිඩ් කාලෙන් පස්සේ මිල වැඩි කිරීමක් සිදු කළේ නැහැ. බොහොම සීමා සහිත ලාභ එක්ක අපි මේ කර්මාන්තය පවත්වාගෙන යනවා. දැන් මේ තියෙන තත්ත්වය ගැන කතා කළොත් අපි මේ සූදානම් වෙමින් තිබෙන්නේ අපේ හොඳම මාස ටික මාර්තු, අප්‍රේල්, දෙසැම්බර්, නොවැම්බර්. ඒ කියන්නේ සීසන් එක. දැන් ඇත්තටම අපේ සියලු නිෂ්පාදන අලුත් අවුරුද්දට හදලා බෙදා හරිමින් තියෙන්නේ. මේ අවස්ථාවේ සංගමය හැටියට අපි තීරණය කරලා තියෙනවා මොන ප්‍රශ්න ආවත් අලුත් අවුරුද්ද අවසන් වෙනකල් අපි මිල වැඩි කරන්නේ නෑ කියලා.”
මැයි මාසයෙන් පසුව පමණ තවදුරටත් ගෑස් මිල, විදුලි බිල සහ අමුද්‍රව්‍ය මිල ඉහළ ගියහොත් පමණක් යම් මිල සංශෝධනයකට යොමුවන බව ලංකා රස කැවිලි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතා පැවසීය.
අමුද්‍රව්‍ය රේගුවෙන් නිදහස් කර ගැනීමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බවත්, දැනටමත් නැව්ගතකිරීම් ගාස්තු ලෙස අතිරේක ගාස්‍තුවක් අයකරන බවට දැනුම් දී ඇති බවත් ලංකා රස කැවිලි හිමිකරුවන්ගේ සංගමය පෙන්වා දුනි.
කෙසේවෙතත් මැයි මාසය දක්වාම මෙම මිල ගණන් පවත්වා ගෙන යන බවත්, අවුරුදු සමයේ සිදුකරන නිෂ්පාදන බෙදා හැරීම් සදහා ප්‍රමාණවත් ඉන්ධන සැපයීමට සුදුසු ක්‍රමවේදයක් සකසා දෙන ලෙසත් දැනට හඳුන්වා දී ඇති ක්‍රමවේදයේ ඇති ගැටලු විසඳා දෙන ලෙසත් ඔවුන් මෙහිදී ඉල්ලීමක් කරන ලදී.















