පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත් කිරීමේ ක්‍රමවේදය: පොලිසියෙන් පැහැදිලි කිරීමක්

අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවියට www.police.lk පිවිස E Service තෝරාගෙන Clearance Certificates යන්න තෝරාගෙන අදාළ අයදුම්පත මාර්ගගතව (Online) සම්පූර්ණ කර පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා ඇත.

ශ්‍රී ලංකා පොලිසිය විසින් විදේශගතව සිටින පුරවැසියෙකු පොලිස් නිශ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා සඳහා රුපියල් 5,100/- ක (පන්දහස් එකසියයක) මුදලක් ගෙවිය යුතු අතර ඊට අදාල මුදල් ලදුපත ලැබීමෙන් පසු දින 14ක් වැනි කාලයකදී තම පොලිස් නිෂ්කාශන වාර්තාව ලබා ගැනීමේ හැකියාව ඇත.

පොලිස් නිෂ්කාශන වාර්තාව ඉල්ලුම් කරනු ලබන තැනැත්තා යම් නීති විරෝධී හෝ අපරාධමය ක්‍රියාවකට සම්බන්ධ නොවූ නීතිගරුක පුද්ගලයකු නම් ඔහුට හෝ ඇයට පොලිස් නිශ්කාෂන වාර්තාව ඉතා කඩිනමින් ලබා ගැනීමට හැකියාව ඇත. කෙසේ නමුත් පොලිස් වාර්තා අනුව අනීතික හෝ අපරාධමය ක්‍රියාවන් හා සම්බන්ධ පුද්ගලයින් හා සම්බන්ධ වාර්තාවන් අයහපත් නිෂ්කාශන වාර්තා ලෙස නිකුත් කරනු කෙරේ.

විදෙස්ගතව සිටින තැනැත්තන් වීසා කාලය දීර්ඝ කිරීම, තම සේවා කාලය දීර්ඝ කර ගැනීම හෝ වෙනත් විවිධ රාජකාරිමය අවශ්‍යතා සඳහාද පොලිස් නිෂ්කාශන වාර්තා ඉල්ලුම් කරයි. මේ සඳහා ප්‍රධාන ඉල්ලුම් කිරීමේ ක්‍රම දෙකක් පවතී. එනම්,

• මාර්ගගත ක්‍රමය (Online System)
• විදෙස් ගත රටවල පිහිටා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා නිෂ්කාශන වාර්තා ඉල්ලුම් කිරීම

ඉහත සඳහන් ක්‍රමවේද ඔස්සේ අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදී තමන්ට අදාළ පොලිස් වසම, දුරකථන අංකය හා විද්‍යුත් තැපැල් ලිපිනය අනිවාර්යෙන් සඳහන් කළ යුතුය.

දේශීය පුරවැසියෙකුට අධ්‍යාපන කටයුතු, ව්‍යාපාරයක් ලියාපදිංචි කර ගැනීම, විවිධ සමිති සමාගම් වෙත බැඳීම ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා පොලිස් නිෂ්කාශන වාර්තා පොලිස් ස්ථාන මගින් ඉල්ලීම් කරයි.

මේ සඳහා නිෂ්කාශන වාර්තා අයදුම්පත්‍රය, තම පදිංචිය තහවුරු කරන ග්‍රාම සේවා නිලධාරිගේ සහතිකය, ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගුවන් ගමන් බලපත්‍රය සමඟ පදිංචියට අදාල පොලිස් වසමේ ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කර අයදුම් කිරීම සිදු කල හැකිය. එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පැය 48 ක් ඇතුළත අයදුම්කරු සම්බන්ධ නිසි විමර්ශන කටයුතු වලින් අනතුරුව අදාළ නිශ්කාශන වාර්තාව නිකුත් කිරීම සිදුකරයි.

පොලිස් නිශ්කාශන වාර්තාවක් ඉල්ලුම් කිරීමේදී නිවැරදි තොරතුරු ඇතුළත් කිරීමට අයදුම්කරුවන් කටයුතු කළ යුතු අතර එසේ නොමැතිව වැරදි තොරතුරු සඳහන්ව ඇති අවස්ථාවන්හිදී අදාළ වාර්තාව ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇත. තවද අයදුම්කරු සම්බන්ධයෙන් නඩු කටයුත්තක් පවත්වාගෙන යන්නේ නම් ඒ සම්බන්ධව ද කිසියම් හේතුවක් මත විදේශයකින් පිටුවහල් කර ඇත්තේනම් ද, හා අයදුම්කරු ත්‍රිවිධ හමුදා නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකුද යන වගද ඉල්ලුම්පතෙහි සඳහන් කිරීම අනිවාර්යය වේ.

නිශ්කාශ වාර්තාවක් ඉල්ලා සිටීමෙන් පසු එහි යම් සංශෝධනයක් කිරීමට අවශ්‍ය වන විටකදී, අයදුම්පත යොමු කර පැය 72 ක කාලයක් ඇතුළත පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිෂ්කාශන අංශය සමඟ සම්බන්ධ වී සංශෝධනය සඳහා අවස්ථාව ලබා ගත හැකිය.

අදාල දුරකථන අංක –

071 8592990 ((Whatsapp)
011 2439185 / 011 2439186 / 011 2122800

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website