පාසල් දන්ත චිකිත්සාගාර වැසීයාමේ අවදානමක් ඇති බව රජයේ පාසල් දන්ත චිකිත්සක සංගමය සඳහන් කරයි.
දන්ත චිකිත්සාගාර 417 ක් පැවතිය ද ඒවායෙහි සේවයට පාසල් දන්ත චිකිත්සක නිලධාරිනියන්ගේ හිඟය මේ සඳහා දැඩි බලපෑමක්ව ඇති බව එම සංගමයේ ලේකම් රමණි ජයන්ති මහත්මිය පැවසුවාය.
උතුරු,උතුරු මැද, නැගෙනහිර ඇතුළු ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ දන්ත සෞඛ්‍ය සේවා සැපයිම මේවන විටත් බරපතළ අර්බුදයක් බව ඇය කීවාය.
අනුමත සේවක සංඛ්‍යාව 520 කට ආසන්න වුවද පාසල් දන්ත චිකිත්සක වරියන් 356 පමණක් මේ වන විට සේවයේ යෙදී සිටින බවත් බස්නාහිර පළාත හැර අනෙකුත් එක් පළාතකින් 20 කට ආසන්න නිළධාරිනියන් හිඟ බව ජයන්ති මහත්මිය අවධාරණය කළාය.
එවැනි පසුබිමක දන්ත සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාකාරකම් පාසල් මට්ටමින් සිදුවීමේ අඩුවක් පවතින බවත් වෙළඳ ආයතන සිය ප්‍රචාර හරහා දරුවන්ගේ ආහාර රටාවට සිදු කරන බලපෑමෙන් වලක්වාගැනීම අභියෝගයක් වී ඇති බව ජයන්ති මහත්මිය අවධාරණය කළාය.
වසරක් පාසා නියමිත පරිදි දන්ත චිකිත්සක නිළධාරිනි පුහුණුවීම් සඳහා නව කණ්ඩායම් බඳවා ගන්නා ලෙස රජයෙන් ඉල්ලීම් කරන බව ජයන්ති මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
දන්ත චිකිත්සක සංගමයේ ලේකම් රමණි ජයන්ති මහත්මිය මෙසේ ද කීවාය.
“පාසල් දන්ත චිකිත්සක නිලධාරීන්ගේ පුරප්පාඩු නිසා දරුවන්ගේ දන්ත ප්‍රතිකාර ලබා ගැනීම දන්ත සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාකාරකම් කෙරෙනවත් අඩුයි. ඉතින් ඒ ක්‍රියාකාරකම් අඩු වුණාට සාමාන්‍යයෙන් කොම්පැනි වලින් එයාලගේ ප්‍රචාර (මාකටින්) තවත් එන්න එන්න වැඩි කරනවා. උදාහරණයක් විදිහට චීස් , බිස්කට් වගේ එනිසා පෙරටත් වඩා දරුවන්ගේ දන්ත ප්‍රශ්න වැඩියි. දෙමව්පියෝ හිතන්නේ පැණි රස කිව්වම ටොෆි,චොකලට් විතරයි. නමුත් ලොකුම හානිය බිස්කට් වලිනුත් වෙනවා. චොකලට්, බිස්කට්, බීම වැනි දේවල් දන්ත සෞඛ්‍ය ඍජුවම බලපානවා.”













