පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් කරුණු විමසයි
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් කරුණු විමසන ලදී.
ඒ එම විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවන වරට පසුගියදා (අප්‍රේල් 07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීහු පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් දැනට සම්මත කොට ඇති 2017 අංක 17 දරන පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම හේතුවෙන් පැන නැගී ඇති නීතිමය බාධාව නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ගැටලුව මතුව ඇති බව පෙන්වා දුන්හ.
කොට්ඨාස සීමා නිර්ණ වාර්තාව සඳහා පාර්ලිමේන්තුවේ අනුමතිය හිමි නොවීම හේතුවෙන් එකී පනතේ විධිවිධාන ප්‍රකාරව මීලග පියවර ලෙස ගරු කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් 5 දෙනෙකුගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවේ වාර්තාව මාස දෙකක් තුළ ගරු ජනාධිපතිවරයාට භාර දියයුතු වුවත් එම වාර්තාව භාරදී නොමැති බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීහු විශේෂ කාරක සභාවට දැන්වූහ. ඒ අනුව පනත ප්‍රකාරව පළාත් සභා ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බවද ඔවුහු වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසූහ.
ඒ අනුව මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම මූලික පනත නැවත බලගැන්වීම ඔස්සේ සිදුකිරීමේ හැකියාව පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසූහ. ඒ අනුව 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත අවලංගු කර නැවත මූලික පනත බලාත්මක කිරීමට හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසීය. එම පනත සඳහා කාන්තා සහ තරුණ නියෝජනය ලබාදීම සඳහා සංශෝධන එක්කිරීමේ අවශ්‍යතාවයද කාරක සභා සාමාජිකයින් පෙන්වා දුන්හ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත මගින් ඉදිරිපත්කර ඇති පෙර පැවති සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳව කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා 2017 පළාත් සභා ඡන්ද විමසීම් ( සංශෝධන ) පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නඩු තීන්දු දෙකක වාර්තා, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පවතින බාධා සහ ඒවා නිරාකරණය කිරීමට පවතින නීතිමය ප්‍රතිපාදන මොනවාද යන්න වාර්තාවක් සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.
එමෙන්ම මීලග රැස්වීම සඳහා සීමා නිර්ණ කොමිසමේ නිලධාරීහු කාරක සභාවට කැඳවීමටද තීරණය කරන ලදී.
මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුල්ලාෆර් යන මහත්වරුන් සහ සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, චන්දන සූරියආරච්චි, ධර්මප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.














