අධි අවදානම් කලාපවල නිවාස 5000කට අධික සංඛ්‍යාවක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළ පරීක්ෂණවලදී තහවුරු කරගත් බව එහි අධ්යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පවසයි.
මෙම සංඛ්‍යාව ඉදිරි සතියේ දී තවත් වැඩි විය හැකි බව කී කරුණාරත්න මහතා අදාළ පර්යේෂණවල ප්‍රතිඵල සමඟ මෙම දත්ත යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් මේ වන විට අදාළ භූමි පරීක්ෂා කරමින් පවතින බවත්, ඒ අනුව මහනුවරට කණ්ඩායම් 15ක්, බදුල්ලට කණ්ඩායම් 5, කෑගල්ලට කණ්ඩායම් 10 ආදී වශයෙන් නිලධාරීන් 100කට අධික පිරිසක් අදාළ පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන බව ද අධ්යක්ෂ ජෙනරාල්වරයා කීවේය.
මෙම ස්ථාන පරීක්ෂා කිරීම තව සති දෙකක් ඇතුළත අවසන් කරන බව ද ඔහු අවධාරණය කළේය.
ආසිරි කරුණාවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ප්‍රදේශවල ජනතාව අධි අවදානම්, මධ්‍ය අවදානම් සහ මද අවදානම් ලෙස කාණ්ඩවලට බෙදා ඇති බවයි. අධි අවදානම් කලාපය තවත් කොටස් තුනකට වර්ග කර ඇති අතර එම කාණ්ඩ තුන යටතේම සිටින ජනතාව එම ස්ථානයන්ගෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.
මෙහිදී දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ නායයෑම් ගැන දත්ත හෙළි කළ කරුණාත්න මහතා පැවසුවේ දිවයින පුරා විශාල ප්‍රමාණයේ නායයාම් 1200කට අධික ප්‍රමාණයක් වාර්තා වූ බවයි.
මහනුවර, කුරුණෑගල, මාතලේ, කෑගල්ල, බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල මෙම නායයෑම් වාර්තා වූ බව කී කරුණාරත්න මහතා මහනුවර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 363ක්, මාතලේ දිස්ත්‍රික්කයේ 162ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ 219ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 89ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ 79ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයේ නායයෑම් 312ක් වාර්තා වී තිබෙන බව ද හෙළි කළේය.










