පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත: නිවාස කුලියට දී‌මේ ව්‍යාපාරයට කණකොකා හඬයි ද ?

පනත් කෙටුම්පත විශේෂඥ කමිටුවක් විසින් සකස් කර විධිමත් කාර්ය පටිපාටිය අනුගමනය කිරීමෙන් අනතුරුව 2025.09.18 වන දින ගැසට් පත්‍රයේ පළ කිරීමට හා ඉන්පසු එම පනත් කෙටුම්පත 2025.11.04 දින සිට 2026.01.15 දින දක්වා කාලය තුළ මහජන අදහස්, විමසීම සඳහා අධිකරණ අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ හා සිංහල දෙමළ හා ඉංග්‍රිසී පුවත්පත්වල භාෂා ත්‍රයෙන් ම පළ කිරීමට කටයුතු කළේය. මෙම පනත් කෙටුම්පත පිළිබඳව තවදුරටත් මහජන අදහස් විමසීම සඳහා කාලය 2026.02.03 සිට මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කරනු ලැබුවේය. එම අදහස් ලිඛිතව ලැබීමෙන් පසු එකී නිර්දේශ, අදහස්, යෝජනා සලකා බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති)ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

“මෙම පනත් කෙටුම්පත් මගින් ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට හෝ කර්මාන්තයක් ලෙස ගෙවල් කුලියට ලබා දෙන අයට හානියක් වන්නේ නැහැ” අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට සහතික වුණේය.

අධිකරණ අමාත්‍යවරයා මේ ආකාරයේ සහතිකයක් ලබා දුන්න ද, මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් ලබාදීම පෙබරවාරී මස 28 වැනිදායින් පසු අවසන් වීමට නියමිතව තිබුණ ද මෙකී පනත සම්බන්ධයෙන් සමාජය තුළ පවතින උනන්දුව කිසිම ආකාරයකින් අඩුවී නැත. මේ බව පැහැදිලි වන්නේ මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 06ක් ඉදිරිපත් වීම සමඟය. එකී පෙත්සම් පසුගිය (පෙබ) 09 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවනු ලැබූ අතර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මෙවැනි පසුබිමක් තුළ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ අදාළත්වය සහ ගැටලු සම්බන්ධයෙන් නීතිඥ අනුරාධා ගමගේ දැක්වූ අදහස් පහත පළ වේ.

2024 පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා මෙම පනත් කෙටුම්පත ගෙන ඒමේ අරමුණ කුමක්ද කියලා. එහි මෙසේ සඳහන් වෙනවා. “ගෙහිමියෙකු විසින් පරිශ්‍රයක පදිංචිව සිටින තැනැත්තන් නෙරපීම වැළැක්වීම පිණිස ද, ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කාරණා සම්බන්ධ විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි”. මෙහි සරල අදහස වෙන්නේ, අවසරයක් ඇතිව නිවසකට පදිංචියට පැමිණෙන පුද්ගලයෙක්ව ඊට පසු අනවසරයෙන් නෙරපීමට ගෙහිමියාට නොහැකි බවයි, එය කළ හැකි වන්නේ අධිකරණමය ක්‍රියාවලියක් හරහා පමණක් බවයි.

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත්ට පෙර මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැදගත් පනත් දෙකක් සම්මත කර ගෙන තිබෙනවා. 1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත සම්මත කරන ලද්දේ කුලී නිවැසියන්ගේ හිතසුව පිණිසයි, නැතහොත් ඔවුන්ව ආරක්ෂා කිරීම පිණිසයි. ඊට පසුව 2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත සම්මත වුණා. මේ පනත හරහා නිවාස  හිමිකරුවන්‌ගේ අයිතිවාසිකම් ආරක්ෂා වුණා. මේ අනුව කුලී නිවැසියන් සහ කුලී නිවාස හිමිකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පනත් දෙකක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. යෝජිත 2024 පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අදාළ කුලී නිවාසවල පදිංචිව සිටින කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නියමිතයි.

කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීති තිබුණා. මම මුලින් සඳහන් කළ 1972 අංක 07 දරන ගෙවල් කුලී පනත මුලින්ම සම්මත කළා. නමුත් තවත් වසර 54කට පස්සේ තමයි යළිත් කුලී නිවැසියන්ගේ / පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන නීතියක් සම්පාදනය වෙන්නේ. යෝජිත පනතින් නෛතික ආරක්ෂාව ලබාදීලා තිබෙන්නේ පදිංචිකරුවන්ට. මෙය තමයි මේ පනත් කෙටුම්පතට තිබෙන ප්‍රධානම විවේචනය වෙන්නේ. එයින් අදහස් කරන්නේ වත්මන් පනත් කෙටුම්පතට අනුව නිවාස හිමිකරුවෝ ප්‍රබල ලෙස අසරණ වෙනවා කියන එකයි. මගේ අදහස වෙන්නේ ‘එවැනි තත්ත්වයක් උද්ගත නොවන’ බවයි. ඒකට හේතුව තමයි 2023 අංක 01 දරන පනත මඟින් නිවාස හිමිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු වෙලා තිබෙනවා.

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමාජයේ වැඩි අවධානයක් යොමුවෙලා තිබෙන්නේ මේ පනතින් ‘පදිංචිකරුවන් පමණක් ආරක්ෂා කරන බව’ ඔවුන් විශ්වාස කරන නිසයි. මෙම පනත අර්ථ දක්වා තිබෙන්නේ ඒ අරමුණින්. පනතේ නෛතික ප්‍රතිපාදන අනුව අධිකරණමය ක්‍රියාමාර්ගයකින් පසුව තමයි පදිංචිකරුවෙක් නෙරපා හැරීමට නිවාස හිමිකරුට අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම පදිංචිකරුවටත් තම අයිතිවාසිකම් වෙනුවෙන් මේ අවස්ථාවේ නෛතික ප්‍රතිපාදන සලසා දී තිබෙනවා. නිවාස හිමිකරුගේ පැත්තෙන් ගත් විට මෙය අනවශ්‍ය බියක් ඇති කරනවා, ඔහුට සාධාරණ බියක් ඇති වෙනවා.

ඔව්, එය නේවාසික පදිංචියක් ද, ව්‍යාපාරික පරිශ්‍රයක් ද කියන එක අදාළ කර ගන්නේ නැහැ. පදිංචිය යන්නෙන් පරිශ්‍රයකට හෝ පරිශ්‍රයක යම් කොටසකට අදාළව, ගෙහිමියා සමඟ වූ බදු ගිවිසුමක් හෝ කුලී නිවැසි ගිවිසුමක් යටතේ බදු ගැනුම්කරුවෙකු හෝ කුලී නිවැසියෙකු ලෙස ඒ පරිශ්‍රයේ පදිංචියට පැමිණ ගෙහිමියාගේ එකඟත්වය ඇතිව නිශ්චිත කාලසීමාවක් සඳහා අඛණ්ඩව පදිංචි වී සිටීම අදහස් වෙනවා.

වර්තමානයේ අධිකරණයේ පවතින නඩු බහුතරය නිවාස හිමිකරුවන් විසින් ගොනු කළ නඩුයි. ඒ කියන්නේ අදාළ පරිශ්‍රවල අනවසරයෙන් පදිංචි වී සිටින සහ ඒ ආශ්‍රයෙන් ගැටුම් නිර්මාණය වෙලා පදිංචිකරුවන් නෙරපා හැරීමට අදාළ නඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් 2023 අංක 01 පනතින් ප්‍රතිපාදන සලසා දී තිබෙනවා අනවරස පදිංචිකරුවන්ව ඉවත් කරන්න. 2023 අංක 01 පනතින් ආරක්ෂාව ලබාදී තිබෙන්නෙම නිවාස හිමිකරුවන්ට. යෝජිත පනතින් ආරක්ෂා කරන්නේ පදිංචිකරුවන්ව. ඒ අනුව දෙපාර්ශ්වයටම බලපාන පරිදි ඉදිරියේ දී නීති සම්මත වෙනවා. මෙය ධනාත්මක තත්ත්වයක් ලෙස සැලකිය හැකියි. නමුත් නීති ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි තවත් පනතක් (පදිංදිකරුවන් ආරක්ෂා කිරීම) හරහා පදිංචිකරුවන් ආරක්ෂා කරනවාට වඩා 2023 අංක 01 දරන පනත සංශෝධනය කරලා ‘ඒක පනතක්’ බවට පත් කිරීම වඩාත් සුදුසු බව. ඒ කියන්නේ එක එක පුද්ගලයින්ට අදාළව වෙන වෙන නීති සම්මත කිරීම වෙනුවට එය ‘එක නීතියක්’ බවට පත් කිරීම වඩාත් සුදුසු බවයි නීති ක්ෂේත්‍රයේ බහුතර පිරිසකගේ අදහස වෙන්නේ.

“මෙම පනත් කෙටුම්පතට අනුව ‘නෙරපීම’ යන්න අර්ථ නිරූපණය කර ඇත්තේ මෙසේය. “නෙරපීම යන්නෙන්, යම් පරිශ්‍රයක පදිංචිකරු සම්බන්ධයෙන් වන විට ගෙහිමියා සහ පදිංචිකරු අතර ඇතුළත් වූ බදු ගිවිසුමේ හෝ කුලී නිවැසි ගිවිසුමේ විධිවිධාන උල්ලංඝනය කරමින් ඒ පදිංචිකරුට ඒ පරිශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම හෝ එහි යම් කොටසක් පාවිච්චි කිරීමට සහ වක්‍රකාර ක්‍රම භාවිත කරමින් අහිමි කිරීම අදහස් වේ” යනුවෙනි. මේ පනත් කෙටුම්පතේ 05 වන වගන්තිය සඳහන් කරනවා පදිංචිකරුවන් ඉවත් කිරීමට හැකියාව ලැබෙන්නේ අධිකරණ ආඥාවක් මඟින් පමණයි කියලා. අධිකරණ නියෝගයකින් තොරව නිවාස හිමියෙකුට පදිංචිකරුවෙකු ඉවත් කරන්න බැහැ. එසේම පදිංචිකරු ඉවත් කිරීම සඳහා නිවාස හිමියෙකුට අත්‍යවශ්‍ය සැපයුම් හෝ උපයෝගීතා සේවා නතර කිරීමට හෝ නඩත්තු  කිරීම පැහැර හැරීමටත් බැහැ. මෙම පනත් කෙටුම්පතට අනුව ‘අත්‍යවශ්‍ය සැපයුම් හෝ උපයෝගීතා සේවා’ යන්නට, ජලය, විදුලිය, මලපවහන සේවා, පිසීමේ ගෑස් සහ ප්‍රවේශ මාර්ගවල සහ තරප්පුවල විදුලි පහන් ද ඇතුළුව විදුලි පහන්, සෝපාන සහ කසළ ශෝධන හෝ සනීපාරක්ෂක සේවා සැපයීම ඇතුළත් වෙනවා. මේ පනත් කෙටුම්පතට අනුව අත්‍යවශ්‍ය සැපයුම් හෝ උපයෝගීතා සේවා අවහිරිතාවයකින් තොරව ලබාදිය යුතුයි. පදිංචිකරුවන් බදු පදනම මත හෝ කුලී පදනම මත රැඳී සිටින පරිශ්‍රයක ගිවිසුමක් යටතේ සිටියදී පරිශ්‍රයක ගෙහිමියා විසින් හෝ ගෙහිමියා විසින් බලය පවරන වෙනත් තැනැත්තෙකු හරහා පදිංචි වී සිටින පුද්ගලයාට එතෙක් සපයන ලද පහසුකමක් හෝ අත්‍යවශ්‍ය සැපයුමක් හෝ උපයෝගිතා සේවාවක් නැවැත්වීමට නොහැකි බව පනත් කෙටුම්පතේ සඳහන් වෙනවා. එමෙන් ම තුන් වන වගන්තිය අනුව, ඒවා අලුත්වැඩියා කිරීම හෝ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාම ප්‍රතික්ෂේප කිරීම, පැහැර හැරීම හෝ අලුත්වැඩියා කිරීමට සහ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අවසර නොදීමේ හැකියාව ගෙහිමියාට නැහැ. කුලියට දී ඇති නිවසේ විදුලි බල්බ ක්‍රියාවිරහිත වූ විට හෝ ජල නළ වැනි ඒවාවල ගැටලු ඇති වූ විට ඒවා ගෙහිමියා ඔබට පිළිසකර කර දීම සිදු කළ යුතු යි. පදිංචිකරු ඒවා නැවත පිළිසකර කර ගැනීමට අවසර ඉල්ලන්නේ නම් ඔහුට ඒ සඳහා  අවසර ලබා දිය යුතුයි. එමෙන් ම පදිංචිකරුවනෙරපීමේ අරමුණින්  ජලය කපා හැරීම වැනි පහසුමක් කපා හැරීම මෙම නව නීතියෙන් තහනම්. පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට අනුව, පදිංචිකරුට ගෙහිමියාගෙන් යම්කිසි අසාධාරණයක් සිදුවුවහොත් (මෙම පනත් කෙටුම්පතේ තුන් වන, හතර වන සහ පස් වන වගන්තිවල ඇති ආකාරයේ සිදුවීමකට මුහුණ දීමට සිදු වුවහොත්)  එවැනි ආකාරයේ සිදුවීමක් සිදුවී මාසයකට නොඅඩු කාලයකදී නඩුව පදනම් වන හේතු සඳහන් කෙරෙන දිවුරුම් පෙත්සමක් සහ වෙනත් යම් අදාළ කරුණු මගින් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ආඥාවක් ඉල්ලා සිටිය හැකි යි. මෙම පනත් කෙටුම්පතට අනුව, ‘අධිකරණය’ යන්නෙන් නිසි අධිකරණ බලය ඇති දිසා අධිකරණයක් අදහස් වෙනවා. පනත් කෙටුම්පතේ හය වන වගන්තියට අනුව, දිසා අධිකරණයක නඩු පවරමින් සහන එකක් හෝ වැඩි ගණනක් ලබා ගැනීම සඳහා ආඥාවක් ඉල්ලා සිටිය හැකියි. මේ ප්‍රතිපාදනය තමයි මේ පනත් කෙටුම්පතේකෙටුම්පතේ තිබෙන ‘භයානක’ තත්ත්වය ලෙස කතා වෙන්නේ.

තමන්ගේ නිවසක් හෝ යම් කිසි දේපොළක් කුලියට ගෙන සිටින පුද්ගලයෙක් ඉවත් කිරීමට අධිකරණය ඉදිරියට යාමට කවුද කැමති වෙන්නේ ?. ඒකට ගතවන කාලය සහ වැය වන මුදල එක්ක නිවාස හිමිකරු නිරායාසයෙන්ම තැති ගැනීමට ලක්වීම සාමාන්‍ය තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක දී නිවසක් කුලියට හො බද්දට දීමට ගැන නිවාස හිමියෙක් දෙවරක් කල්පනා කළ හැකියි.

කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල විශාල පිරිසක් තමන් සතු නිවාස සහ ගොඩනැගිලි කුලියට දීම එකම ආදායම් මාර්ගය බවට පත්කර ගෙන සිටිනවා. මේ නිසාම තමයි පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැන පුළුල් සමාජ සංවාදයක් තිබෙන්නේ. ඒ වගේම දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල් පවා මේ හරහා පීඩාවට පත් වීමට පුළුවන්. ඒ නිසා මේ පනත සම්මත වුණොත් නිවාස සහ ගොඩනැගිලි කුලියට හෝ බද්දට දීමේ දී යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම මේ පනත සම්මත වුණොත් යම්කිසි අවස්ථාවක කුලී නිවසකින් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන කුලි නිවැසියෙක් ඉවත් කිරීමට අධිකරණමය ක්‍රියාමාර්ගයකට යාමට සිදුවීම අධික වියදමක් සහ අවදානමක් දැරීමට සිදුවන කටයුත්තක් බවට පත් වෙනවා. මෙවැනි ඍණාත්මක පසුබිමක් තුළ ගෙවල් කුලිය ඉහළ යාමක් සිදුවිය හැකියි. ඒ වගේම තමන්ගේ දේපොළේ මතු ආරක්ෂාව වෙනුවෙන් තවත් විවිධ පියවර ගැනීමට ගෙවල් හිමියන් පියවර ගන්න පුළුවන්. මෙය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවෙයි.

මුලින්ම මෙවැනි පනත් කෙටුම්පත් ගෙන ඒමට ආණ්ඩුව උත්සාහා කරන්නේ කුමන පදනමකකින් ද කියලා අපි වටහා ගත යුතුයි. ඒ වගේම තමයි ලිඛිත නීත්‍යානුකූල ගිවිසුමක් හරහා තමයි මේ ගැටුම් ආරම්භ වෙන්නේ. අලුත් පනතක් ගේනවට වඩා දැනට තිබෙන නීතියට යම් සංශෝධනයක් කිරීම වඩාත් සුදුසුයි කියලා මම හිතනවා. මගේ අදහස තමයි නිවාස හිමියා සහ පදිංචිකරු එකම පනතකින් ආවරණය කරන්න පුළුවන් නම් පවතින ගැටුම් පහසුවෙන් නිරාකරණය කර ගන්න පුළුවන්.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website