
රට තුළ පවතින වත්මන් ඉන්ධන තත්ත්වය සැලකිල්ලට ගනිමින් මාර්තු 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, රජයේ සේවකයින් සඳහා සෑම සතියකම බදාදා දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේය.
අද (16) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.
වැඩකරන සතියේ ඉතිරි දින හතර තුළ සේවා ස්ථානවලට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට බලය ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේය.
රජයේ සේවකයින්ට අමතරව, සියලුම රජයේ පාසල්, විශ්ව විද්‍යාල සහ අධිකරණ සඳහා බදාදා දිනයන් නැවත දැනුම් දෙන තුරු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
පෞද්ගලික අංශයේ ආයතන ද එම පියවර අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින බව ඔහු පැවසුවේය.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සීමාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
සෞඛ්‍ය සේවා, වරාය, ජල සම්පාදන සහ රේගුව ඇතුළු අත්‍යවශ්‍ය සේවා අංශ සඳහා නිවාඩු දිනය අදාළ නොවන බව ඔහු පැවසුවේය.
බදාදා දින හැරුණු විට, සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ඔවුන්ගේ රාජකාරිවල අවශ්‍යතාවය මත පදනම්ව සතියේ අනෙක් වැඩ කරන දින හතරේ තම ආයතනවල සේවකයින්ට වැඩ කිරීමට කැඳවීමට බලය ඇති බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, රටේ පවතින ඉන්ධන තත්ත්වය සැලකිල්ලට ගෙන සියලුම රජයේ උත්සව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.












