නව ආර්ථික අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට එක් වන්න – ජනපති

විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව විසින් මේ යුගයේ අත්පත් කරගෙන තිබෙන ආර්ථිකය ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම වත්මන් රජයේ අරමුණ බවත් එම නව ආර්ථික අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්වන ලෙස සියලු ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට රජය සූදානම් බව අවධාරණය කළ ජනාධිපතිවරයා නවීන ලෝකයත් සමඟ ඉදිරියට යාමට අසමත් වීම හේතුවෙන් ජාතියක් ලෙස අපට මඟහැරී ගිය ආර්ථික අවස්ථා රටට කැඳවාගෙන ඒම වත්මන් රජයේ අරමුණ බවද පැවසීය.

ඒ වෙනුවෙන්  රජය පුළුල් සැලැස්මක් සකස් කර තිබෙන බවත්, ඩිජිටල්කරණය එහි ප්‍රධාන අංගයක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා  කෘත්‍රීම බුද්ධිය, දත්ත මධ්‍යස්ථාන වැනි ආර්ථික අවස්ථා පිළිබඳ එහිදී අවධානය යොමු කර තිබෙන බවද සඳහන් කළේය. එමෙන්ම, ඩිජිටල්කරණය සඳහා රජය මෙවර අයවැයෙන් රුපියල් බිලියන 6.5කට ආසන්න මුදලක් වෙන් කර ඇති බවත්, මේ වසර අවසානයට පෙර කෙසේ හෝ ඩිජිටල් හැදුනුම්පත නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ  ඊයේ (10) පස්වරුවේ කොළඹදී පැවති ලාංකේය ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) 2026 වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමිනි.

‘පරපුරෙන් පරපුරට ශක්තිමත් හෙටක් හදන අදක්’ තේමාව යටතේ මෙවර වාර්ෂික මහා සභා රුස්වීම පැවැත්විණි.

ඕනෑම ආර්ථිකයක් ඉදිරියට යන්නේ ඒ කෙරෙහි ඇති විශ්වාසය මත බවත්, ව්‍යාපාරිකයන්, මූල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන  අය සහ සමාන්‍ය ජනතාව තුළ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් තිබිය යුතු බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම විමට අවිශ්වාසය විසින් ආර්ථිකයන් බිඳ වට්ටනු ලබන බවද සඳහන් කළේය.

අද රටක් ලෙස අපිට අවශ්‍ය නොසෙල්වෙන මෙන්ම බාහිර සහ අභ්‍යන්තර කම්පනයන්ට ඔරොත්තු දෙන ආර්ථිකයක් බවත්, අද ගොඩනඟමින් සිටින්නේ එවන් ආර්ථිකයක් බවත් ජනාධිපතිවරයා පැවසීය.

අභ්‍යන්තර කම්පන ජය ගත්ත ද, මේ මොහොතේ මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් බාහිර කම්පනයක් එල්ල වී ඇති බවත්,  මාර්තු මස මුල සිට මේ වන විට බොරතෙල් බැරලයක මිල 42% කින් පමණ ඉහළ යාමත් සමඟ ලෝක වෙළඳපොළේ දැඩි අවිනිශ්චිතතාවයක් නිර්මාණය වී ඇති බවත්, මෙරට පාරිභෝගික හැසිරීම් වලද අවිනිශ්චිතතාවයක් දක්නට ලැබෙන අතර, මාර්තු 1 වනදා කිලෝලීටර 4500 ක් වූ ඩීසල් අලෙවිය මාර්තු 3 වනදා වන විට කිලෝලීටර 10,500 දක්වා ඉහළ යාම ඊට උදාහරණයක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

2022 වසරේ ඇතිවූයේ  ඩොලර් හිඟය නිසා ඇති වූ අර්බුදයක් වුවත්, මෙවර පවතින්නේ සැපයුම් මාර්ග අවහිර වීම නිසා ඇති වූ සැපයුම් අර්බුදයක් බවත් පෙන්වා දෙමින්, තනි තනිව නොව සියලුදෙනා සාමුහිකව සිටිමින් ඊට මුහුණදී අභියෝගය ජයගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් රජය ‘ආර්ථික ආවේක්ෂණ කමිටුවක්’ පිහිටුවා ඇති අතර සැපයුම් පවත්වාගෙන යාම වෙනුවෙන් මිත්‍ර රාජ්‍යයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ නැගී එන ව්‍යවසායක නායකත්වය නියෝජනය කරන  තරුණ ලාංකිකයන්ගේ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය මෙරට  ආර්ථිකයේ සුවිශේෂී පංගුකරුවෙක් ලෙස ඉටු කරන මෙහෙවරද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වූ අතර එහි නව සභාපතිවරයා ඇතුළු සියලු සාමාජිකයන් වෙත සිය සුබපැතුම් එක් කළේය.

ලාංකේය ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නව සභාපති සුරේන් චන්ද්‍රරත්න මහතා සහ හිටපු සභාපති මංජුල විජේසුන්දර, ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩෑන් ද සිල්වා යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

නව සභාපති සුරේන් චන්ද්‍රරත්න මහතා මෙහිදී සඳහන් කළේ නව ව්‍යවසායකයන්ට අලුත් හෙටක් නිර්මාණය කර දීම තම අපේක්ෂාව බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website