පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ, ජනතාවට විවෘත කිරීම අද (08) පෙරවරුවේ සිදු විය.
රුපියල් මිලියන 424ක පිරිවැයකින්, “ක්ලීන් ශ්‍රී ලංකා” සංකල්පය යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කොළඹ මහනගර සභාව ඇතුළු ආයතන රැසක සහයෝගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වූ දැවැන්ත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය නියමිත කාලයට පෙර නිම කිරීමට හැකි වීම විශේෂත්වයකි.
දිනකට 75,000ක් පමණ වන මගී ජනතාව සහ බස් රථ 2,000කට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් නවීන පහසුකම් රැසක්, නවීකරණය කරන ලද මෙම බස් පර්යන්තයේ ස්ථාපිත කර තිබේ.
මෙහි බිම් මහල බස් රථ මෙහෙයුම් සඳහා වෙන් කර ඇති අතර, පළමු මහලේ රියදුරු සහ කොන්දොස්තර මහතුන් වෙනුවෙන් වායු සමනය කළ නවාතැන් පහසුකම් සලසා ඇත. දෙවන මහල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යාලය සහ නවීන ශ්‍රවණාගාරයකින් සමන්විතය.
තවද මෙහි පළමු මහල අලෙවිසැල් සහ නවීන සනීපාරක්ෂක පහසුකම්වලින්ද , දෙවන මහල පාසල් සිසු දරුවන් වෙනුවෙන් වෙන් කළ නවාතැන් පහසුකම්වලින්ද සමන්විත වේ.
සමස්ත පරිශ්‍රයම CCTV කැමරා පද්ධතියකින් ආවරණය කර ඇති අතර, ඩිජිටල් තිර සහ නවීන තොරතුරු මධ්‍යස්ථානයක් ඔස්සේ මගීන්ට අවශ්‍ය තොරතුරු ක්ෂණිකව නිකුත් කිරීම සිදු කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ මිලියන, බිලියන ව්‍යාපෘති අතරින් පිටකොටුව බස් නැවතුම්පොළ නවීකරණ කිරීම තරම් මහජන උනන්දුවක් ඇති වූ වෙනත් ව්‍යාපෘතියක් නොවන බවයි.
මහජන මුදලින් නවීකරණය කෙරුණු මෙම පර්යන්තය එම ප්‍රමිතියෙන්ම පවත්වාගෙන යාම මීළඟ අභියෝගය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා ජනතාව සිය වගකීම ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත්, අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි වසරක කාලයක් රැක බලා ගැනීම වෙනුවෙන් සහාය ලබා දීමට ආරක්ෂක ලේකම්වරයා එකඟතාව පළ කර තිබෙන බවත් පැවසීය.
රට මුහුණ දුන් අභියෝග හමුවේ වුවද මෙම කාර්යය නතර නොකර අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කැපවීම වෙනුවෙන් අමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත සිය ස්තූතිය පිරිනැමීමටද කටයුතු කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය යනු දේශපාලන අධිකාරිය විසින් විශාල විනාශයකට ලක් කළ ආයතනයක් බවත්, ඒ අතර එම ආයතනය රුක ගැනීමට විශාල කැපවීමක් සිදු කළ අවංක නිලධාරීන්, සේවකයන් සහ වෘත්තීය සමිති සාමාජිකයින් සිටී බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ නවීන පහසුකම්වලින් සමන්විතව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම වෙනුවෙන් මධ්‍යම බස් නැවතුම්පොළෙහි පහසුකම් ඉහළ නංවා ඇති බවයි.
මෙය රජයේ ස්ථානයක් වුවද නිල බලය සහ මැර බලය යෙදාගෙන පෞද්ගලික කණ්ඩායම් විසින් එක් එක් කොටස් බෙදා ගෙන තිබීම හේතුවෙන් මෙම ස්ථානය අභාවයට යමින් තිබු නමුත් දින 200ක් තුළ සිදු කළ නව පරිවර්තනයත් සමඟ ජනතාවට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කර තිබෙන බවත්, එම පරිවර්තනය හුදෙක් තීන්ත ආලේප කළ පරිවර්තනයක් නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රට තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ඊට අවශ්‍ය පහසුකම්ද ඉහළ නැංවිය යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ ආකාරයෙන් පද්ධති සහ ක්‍රමවේද අලුතින් හඳුන්වා දෙන විට ජනතාව හිතන පතන ආකාරය පවා වෙනස් වන බවටද විශ්වාසය පළ කළේය.














