නඩු ප්‍රමාද වීමේ වන්දිය අද මුළු රටම ගෙවනවා – ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මම හිතන ආකාරයට මේ රට හෙමින් හෙමින් අරාජිකත්වය කරා ගමන් කරමින් සිටිනවා. මම ඒක කියන්නේ පසුගිය සිකුරාදා නීතිඥ මහත්මයෙක් සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ නිසාම නොවෙයි, පසුගිය 2025 වර්ෂයේ පුද්ගලයින් 110ක් ඝාතනය කරලා තිබෙනවා, 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. මේ අවුරුද්දේ මේ වන විට 10-12ක් ඝාතනය කරලා තිබෙනවා, තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. මේ තත්ත්වය පැහැදිලිවම පොදුජන ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය බරපතළ ලෙස පිරිහීමක්. මේ ආණ්ඩුව බලයට පත්විමට පෙර පැහැදිලිවම පොරොන්දු වුණා රට තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කර සුරක්ෂිත කරන බව, ජාතික ආරක්ෂාව තහවුරු කරන බව. නමුත් ආණ්ඩුව මේ දක්වා ඒ පොරොන්දුව ඉටු කිරීමට අසමත්ව තිබෙනවා. විශේෂයෙන්ම පාතාලය, අපරාධකරුවෝ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ මර්දනය කිරීමට ආණ්ඩුවට කිසිම හැකියාවක් නැති බව මේ වන විට පැහැදිලි වෙලා තිබෙනවා. මෙපමණ දෙයක් වුණත් සමාජය මේ දක්වා ඉවසා ගෙන ඉන්නවා. බොහෝ දෙනෙක් කියන්නේ ආණ්ඩුවට කාලය ලබාදිය යුතුයි කියලා. නමුත් ආණ්ඩුවට ප්‍රමාණවත් කාලයක් දීලා තිබෙනවා. මාස 15කට අධික කාලයක් ලබාදී තිබෙනවා. නමුත් පසුගිය කාලය තුළ ආණ්ඩුවට මේ තත්ත්වය පරිපාලනය කර ගැනීමට, කළමනාකරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ක්‍රමයෙන් උදාවෙමින් තිබෙනවා.

මේ තත්ත්වය තවත් ආකාර ගණනාවකින් හානිකර ප්‍රතිවිපාක ඇති කරනවා, ලංකාවේ යුධ හමුදා මූලස්ථානය පේන දුරින් නීතිඥයෙක් සහ ඔහුගේ බිරිඳ අමු දවාලේ වෙඩි තබා ඝාතනය කරන කොට ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය බරපතළ ලෙස බිඳ වැටෙනවා. සංචාරක කර්මාන්තයට, විදේශ ආයෝජනවලට මේ තත්ත්වය ඉතා අහිතකර ලෙස බලපෑම් කරයි ද කියලා අපට ඉදිරියේ දී දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි නීතිඥවරයෙකුවත් මහ මඟ අමු අමුවේ මරා දමන්න පුළුවන් නම් ඒක භයානක තත්ත්වයක්. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය 16 වැනිදා අවුරුදු 13කට පස්සේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවලා 17 වැනිදා අධිකරණ කටයුතුවලින් ඉවත් වීමට තීන්දුවක් ගත්තේ.

රටේ නීතියේ ආධිපත්‍ය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට වත්මන් ආණ්ඩුවට විශාල වගකීමක් තිබෙනවා. මේ ආණ්ඩුව ජනතාවට සහතික වුණා නීතියේ ආධිපත්‍ය තහවුරු කරන බවට. ඒ නිසා තමයි ආණ්ඩුව 2/3කට වඩා වැඩි බලයක් දුන්නේ. නමුත් මේ වන විට ආණ්ඩුව තමන් ගැන ජනතාව තිබූ විශ්වාසය නැති කර ගෙන තිබෙන්නේ. ඒ වගේම තමයි අද ආණ්ඩුව කරන පිරිස් ජනාධිපතිවරණයට පෙර ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළා ප්‍රභූ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් යළි පොලිසිවලට අනුයුක්ත කරනවා කියලා. ඒ වගේම හෙළිකොප්ටර් භාවිතා නොකරන බවට දිවුර දිවුරා කිව්වා. ඒත් අද ඒ කිසිවක් සිදු වෙලා නැහැ. අපරාධ මර්දනයේ දී, විශේෂයෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් මර්දනයේ දී ආණ්ඩුවට නිර්මාණශීලීභාවයක් නැහැ, කොටුවෙන් පිට හිතන්නේ නැහැ. ඒ වගේම බලයට ආවට පස්සේ ආණ්ඩුවේ ප්‍රබලයින් සැප ජීවිතවලට හුරුවෙලා ඉන්නේ. ඔවුන් විපක්ෂයේ සිටිය දී කළ ප්‍රකාශ ගැන අද කිසිම වගකීමක් නැහැ. වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ ඉන්න කොට මේ ආකාරයේ ඝාතනයක්  වුණ අවස්ථාවක වල කළ කතා දිහා බලන විට අද එතුමා කරන්නේ, ඔහුගේ ඇමැතිවරු  කියන්නේ මොනවද කියලා අපට හිතා ගන්න බැහැ. මෙවැනි අවස්ථාවාදී තත්ත්වයක් ජනතාව කිසිසේත් අපේක්ෂා කළේ නැහැ.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට කිසිම විශේෂඥභාවයක්, දැක්මක් හෝ අත්දැකීමක් නැහැ. ඒක තමයි ප්‍රධාන ගැටලුව. අනෙක් අතට මේ ආණ්ඩුවත් පරණ ආණ්ඩු වාගේ ‘ඩීල් දේශපාලනය’ කරන්න පටන් ගෙන තිබෙනවා. ඒ වගේම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාටත් පරණ ජනාධිපතිවරුන්ට අත්වුණ ඉරණමම අත්වෙලා. ඔහු වටා ඉන්න කණ්ඩායම රටේ ඇත්ත තත්ත්වය ජනාධිපතිවරයාගෙන් සඟවන බවක් පේනවා. මේ කල්ලිය ඉතාම පැහැදිලිව රටේ දේශපාලන හා සමාජ යථාර්ථය ජනාධිපතිවරයාගෙන් සඟවනවා. ඔවුන් යථාර්ථය පැහැදිලි කර දීමක් කරන්නේ නැහැ.

පාතාලය පාතාලය අතර සිදුවන ගැටුම් ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නැහැ කියන කතාවට කිසිම පදනමක් නැති විහිළු කතාවක්. මීට පෙර වැලිගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය සභාපතිවරයා ඝාතනය කළ වහාම ආණ්ඩුව සහ පොලිසිය එම ඝාතනයට පාතාලය සම්බන්ධ කළා. නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කරලා ඒ මිනීවල උණුසුම යන්න කලින් මේ ඝාතන පාතාලයට සම්බන්ධ කළා. ආණ්ඩුව හදන්නේ මේ ඝාතන සාධාරණීකරණය කරන්න. එතකොට ආණ්ඩුව ගැන අපට ඇති වන විශ්වාසය මොකක්ද ?, ඝාතනයක් සාධාරණීකරණය කරන්න ආණ්ඩුවකට පුළුවන් ද ?, නීතිඥවරයෙකුට සැකකාරයෙක් වෙනුවෙන් පෙනී සිටින්න බැරි ද ?. නීතිඥයෙක් ළඟට එන හැමෝම නිවැරදිකාරයෝ ද ?, අනික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම තිබෙනවා ‘නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය’ කියලා නිගමනයක්. අධිකරණමය ක්‍රියාවලියක් තුළින් වරද ඔප්පු වන තුරු සෑම පුද්ගලයෙක්ම නිර්දෝෂී පුද්ගලයෙක් කියලා තමයි සැලකෙන්නේ. එවැනි තත්ත්වයක් හමුවේ, ආණ්ඩුවේ මේ නොහැකියාව තුළ රට දිනෙන් දින ආරාජිකත්වය කරා යාම ගැන අපි පුදුම විය යුතු නැහැ.

මේක බරපතළ තත්ත්වයක්. පොලිසිය අවම වෘත්තීයභාවයකින් කටයුතු කරන්නේ නැහැ. අපි නීතිඥ සංගමයේ මහා සභාවේ දී මේ ගැන ගැඹුරින් සාකච්ඡා කළා. මෙවැනි වගකීම් විරහිතව කටයුතු කරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් යම්කිසි පියවරක් ගත යුතු බව අපි අවධාරණය කළා. ඔවුන් මොන පදනමක් මත ද මෙවැනි ප්‍රකාශ කරන්නේ, මේ කිසිම ප්‍රකාශයකට කිසිම පදනමක් නැහැ. ඒ නිසා තමයි අපි යළි යළි අවධාරණය කරන්නේ මේ ආණ්ඩුවට පාතලය මර්දනය සම්බන්ධයෙන් කිසිම පාලනයක් නැහැ කියලා.

උසාවිය ඇතුලේදී සැකරුවෙකු ඝාතනය ඝාතනය කළ අවස්ථාවේ දී අපි නීතිපතිතුමාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මහාධිකරණයේ නඩු පවරන්න කියලා. මේ සිද්ධියේ දී පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය එකට එකතු වෙලා කඩිනමින් ක්‍රියාත්මක වුණා නම් මාස හයකින් නඩුව අවසන් කරන්න තිබුණා. නමුත් ඒක සිදු වුණේ නැහැ. යම්කිසි ආකාරයකින් මහාධිකරණයේ කඩිනමින් නඩු අහලා තීන්දුක් දීලා තිබුණා නම් සමාජයට ප්‍රබල පණිවුඩයක් දෙන්න තිබුණා. නමුත් අවාසනාවට ඒ කිසිවක් සිදු වුණේ නැහැ. ඒ වගේම ජනමාධ්‍ය විශාල වරදක් කරනවා. ඔවුන් මේ අපරාධකාරයෝ වීරයෝ කරනවා. ප්‍රබල චරිත බවට පත් කරනවා. දකුණු ඉන්දියාවේ චිත්‍රපට නළුවෝ බවට පත්කරනවා. අද අපරාධකාරයෝ නළුවෝ බවට පත්ව සිටිනවා. රම්බෝ වාගේ තමයි අද අපරාධකාරයෝ උසාවියට එන්නේ. මම අහන්නේ මේ අපරාධකාරයින්ව රූපවාහිනියේ පෙන්වන්නේ ඇයි ? මේ හරහා සමාජයට දෙන පණිවුඩය මොකක්ද ?. අපරාධකාරයෙක් වෙන්න තරුණ ළමයි තුළ පෙළඹීමක් ඇතිවෙන්නේ නැද්ද?. ඔවුන් මේ අපරාධකාරයින්ව ආදර්ශයට ගන්නේ නැද්ද ?. මගේ අදහස අනුව නම් අපරාධකාරයෝ නළුවෝ කළ මේ මාධ්‍ය සංස්කෘතිය අපරාධකාරයින්ට තිඹිරි ගෙයක් වෙලා තිබෙනවා. මම විශ්වාස කරන ආකාරයට මෙවැනි අපරාධ වාර්තාකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව යම්කිසි නියාමනයක් ගෙන ආ යුතුයි. අපරාධකාරයෙක්, කුඩු විකුණන මිනිහෙක් රූපවාහිනියේ පෙන්වන එකෙන් සමාජයට ඇති වාසිය මොකක්ද ?. අපරාධකාරයෝ සමාජ චරිත කළ යුතු නැහැ, වීරයෝ කළ යුතු නැහැ. මේ සම්බන්ධයෙන් පුළුල් වෙනසක් සිදුවිය යුතු බවයි මගේ පුද්ගලික මතය.

ඔ්නෑම නඩුවක ඇප ලබාදිය හැකි හේතු තිබෙනවා. ඇප ලබාදීමට තමයි ඇප නීතිය සම්පාදනය කරලම තියෙන්නේ. ‘නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය’ කියනා සංකල්පයක් තිබෙනවා. මනුෂ්‍ය ඝාතනයකට වුණත් ඇප ගන්න පුළුවන්. හොරොයින් නඩුවක දී අවුරුදු දෙක තුනක් ඇප නොදී තියා ගත්තා කියමුකෝ, නමුත් නඩු පැවරීමක් කරලා නැති නම්, නඩුවේ කිසිම ප්‍රගතියක් නැතිනම්  උසාවිය ඇප දෙනවා. ඒක පුරවැසියන්ට තිබෙන අයිතියක්. ඒ අයිතිය ක්‍රියාත්මක වන විට ඒකට දොස් කියන්න බැහැ. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුවයි පොලිසියයි එකට එකතු වෙලා ඉක්මනින් නඩු පවරලා, නඩු ඉවර කළ යුතුයි. ඒක නොකරන එකේ ප්‍රතිවිපාක තමයි මේ තියෙන්නේ.

ඒක කිහිප ආකාරයකට සිදුවෙනවා. ජනප්‍රියම හා බහුලව ක්‍රියාත්මක වන ක්‍රමය තමයි, දිගින් දිගටම අපරාධ සිදු වෙන විට ඒ අපරාධවලට පටලවන්න පුළුවන් යම්කිසි සැකකාරයෙක් ඉන්නවා නම් පොලිසිය හෝඩුවාවක් හොයා ගන්න බැරි නඩු සේරම අර මිනිහගේ පිට දාලා ඒ පුද්ගලයාව නම ගිය අපරාධකාරයෙක් කරනවා. මේ වගේ සිදුවීම් බහුලව සිදුවෙනවා. ඒ නිසාම තමයි නඩු විසඳීම කඩිනම් කළ යුතු වෙන්නේ.

වත්මන් අගවිනිසුරුතුමා දිගින් දිගටම කියනවා නඩු විසඳීම කඩිනම් කරන්න කියලා. නමුත් නඩු විසඳන්න ඒවා නිසි පරිදි විමර්ශන කළ ඒවා විය යුතුයි. නමුත් නඩු විමර්ශනය සඳහා බොහෝ විට දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ වගේම නීතිපති උපදෙස් ලබා දෙන්නත් සැලකිය යුතු කාලයක් යනවා. ඇතැම් අපරාධ නඩුවලට නීතිපති උපදෙස් දෙන්න අවුරුදු 10ක් විතර යනවා. මේ ආකාරයට දීර්ඝ කාලයක් ගත වන විට සාක්ෂි විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා අධිකරණයට පමණක් මේක තනියම කරන්න බැහැ. මේ ක්‍රියාවලියට අදාළ සියලුම ආයතන කඩිනමින් තම තමන්ගේ කටයුතු කළොත් පමණයි අධිකරණමය ක්‍රියාවලිය කඩිනම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ කඩිනමින් නඩු විසඳන්න අවස්ථාව ලැබෙන්නේ.

නීතිඥයින් කරන්නේ නඩුවට පෙනී සිටීම පමණයි. නීතිඥයින්ට අනවශ්‍ය ලෙස නඩු ඇදගෙන යන්න බැහැ, දින කල් ගන්න බැහැ. නමුත් නඩු ප්‍රමාද වීමට යම්තාක් දුරකට නීතිඥයින් වගකිව යුතු බව අප පිළිගත යුතුයි. නමුත් නීතිඥයින්ට වඩා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට වැඩි වගකීමක් තිබෙනවා. විශේෂයෙන් පොලිසියට විශාල වගකීමක් තිබෙනවා. නඩු පැවරීම සහ විමර්ශනය කිරීම කරන්නේ පොලිසිය නිසා මේ සමස්ත ක්‍රියාවලිය තුළ පොලිසියට විශාල වගකීමක් තිබෙනවා.

පසුගිය දා පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහා සභා රැස්වීමට සංවිධානයක් ලෙස අපි යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. ඒවට අනුමැතිය ලැබුණා. ඒ වගේම නීතිඥ සංගමය මේ අවස්ථාවේ හෝ එළියට පැමිණීම වැදගත් කරුණක් ලෙස අපි සලකනවා. ඒ වගේම පසුගිය කාලයේ මිනිස්සු සිය ගණනක් ඝාතනය කරන විට නීතිඥ සංගමය නිහඬව සිටීම ගැන අපි කනගාටු වෙනවා. ඒ වගේම නීතිඥයින්ට එල්ල වුණ විවිධ තර්ජන ගැන ඔවුන් නීතිඥ සංගමයට පැමිණිලි කරලා තිබුණත් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නොගත් බවට චෝදනාවක් තිබෙනවා. ඒ නිසා තමයි අපි Free Layers සංවිධානය බිහි කළේ. අපේ සංවිධානයේ ප්‍රධාන අරමුණ තමයි අධිකරණයේ සහ අර්ධ අධිකරණ බලතල ක්‍රියාත්මක කරන නීතිපතිතුමා ශක්තිමත් කර ආරක්ෂා කිරීම.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website