ටොම් බැන්ටන්ගේ අර්ධ ශතකයත් හැරී බෘෘක්ගේ වේගවත් කෙටි ඉනිමත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (01 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන්ද කඩුලු 6 ක ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙස ජය ගත්තේය.
ලකුණු 190 ක ඉලක්කයක් හඹා යන අතරතුරදී අනපේක්ෂිත ලෙස වර්ෂාව ඇද හැළීම හේතුවෙන් පැයකට වඩා කාලයක් තරගය නතර කර තැබීමට සිදුවිය. ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 190 ක ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරදමන විට කඩුලු 2 කට ලකුණු 57 ක් ලබා සිටියේය. ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඒ වන විට ඉලක්කය ලකුණු 70 ක් වූ අතර ශ්‍රී ලංකාවට වාසි සහගත විය. එහෙත් වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භ කිරීමේදී එය පන්දුවාර 17 කදී ලකුණු 168 ක් දක්වා සංශෝධනය වන ලදී.
වර්ෂාව නතර වීමෙන් පසු ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්තයට පන්දුවාර 9.4 කදී ලකුණු 111 ක් ලබා ගත යුතු වූ නමුත්, පිටියට පිවිසි ටොම් බැන්ටන් පන්දු 29 කදී ලකුණු 54 ක් සහ නායක හැරී බෘෘක් පන්දු 12 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 36 ත් හෙතුවෙන් පන්දු 2 ක් ඉතිරිව තිබියදීම ජය වාර්තා කර ගැනීමට සංචාරකයින්ට හැකියාව ලැබිණ.
තුවාල ලබා සිටින බෙන් ඩකට් වෙනුවට කණ්ඩායමට නම් කර ඇති ටොම් බැන්ටන් අද දිනයේදී අර්ධ ශතකයක් වාර්තා කරන ලද්දේ වසර 4 කට පසුව වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට එරෙහිව ඔහු පන්දුවට පහර දුන් ආකාරය සලකා බැලූ විට, ඉදිරියේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ඩකට් නැවත කණ්ඩායමට එක් කළහොත් බැන්ටන් ඉවත් කිරීම එංගලන්තයට සරල තීරණයක් නොවනු ඇත.
ආරම්භක පිතිකරුවන්ගේ ශක්තිමත් අඩිතාලමක් මැද පෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වය මත පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු 189 ක් ලබා ගත්තේය. මෙම තරගයේදීද එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ දඟ පන්දු යවන්නන් තිදෙනා සිය යුතුකම් කොටස මැනවින් ඉටු නොකරන්නට ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට අවකාශ තිබිණ.
වේග පන්දු යවන්නන් යවන ලද පන්දුවාර 8 දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 103 ක් උදුරා ගත්තද දඟ පන්දු යවන්නන් විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 12 ටම සත්කාරකයින් රැස් කිරීමට සම්තව ඇත්තේ ලකුණු 81 ක් වන අතර කඩුලු 3 ක්ද දැවී ගොස් තිබේ.
සෑම් කරන් සහ ජොෆ්රා ආචර්ට එරෙහිව වේගවත් ආරම්භයක් ලබා ගත් පැතුම් නිස්සංක පන්දු 22 කින් ලකුණු 34ක් ලබා ගත් අතර එම වේගවත් පිතිහරඹය නිසා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කින් ලකුණු 56 ක් රැස් කිරීමට හැකියාව ලැබිණ, මුහුණ දුන් 22 වැනි පන්දුවේදී පැතුම් ලකුණු 34 කට දැවී යද්දී ජොෆ්රා ආචර් සහ විල් ජැක්ස්ට එරෙහිව එල්ල කරන ලද හයේ පහර 2 ත් තවත් හතරේ පහර 3 ක් ඉනිමට ඇතුළත් කර තිබිණ. සෑම් කරන් විසින් යවන ලද පළමු පන්දුවාරයේදී ලකුණු 14 ක් උදුරා ගත් පැතුම් දෙවැනි පන්දුවාරය යවන ලද ජොෆ්රා ආචර්ගේ පන්දුවාරයට ලකුණුු 31 ක් රැස් කළේ තරගය නැරඹීමට පැමිණි දහස් සංඛ්‍යාත් ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරමිනි.
පැතුම් දැවී ගියත් කමිල් මිශාරට එක්වූ කුසල් මෙන්ඩිස් 11 වැනි පන්දුවාරය වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 106 දක්වා ඉහළ දැමීමට සමත්වූහ. අංක 4 පිතිකරුවා ලෙසින් උසස්වීමක් ලබමින් පිටියට පිවිසි පවන් රත්නායක ලකුණු ලබා ගැනීම ආරම්භ කරන ලද්දේ ජෙමී ඕවර්ට්න්ට එරෙහිව එල්ල කරන ලද හයේ පහරද සමගිනි.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන ලද මංගල විස්සයි-20 තරගය බවට පත්වූ අද තරගයේදී පවන් පන්දු 22 කින් ලකුණු 40 ක් රැස් කළේ තම ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් කර ගනිමිනි. වේගයෙන් ලකුණු රැස් කිරීමේ අරමුණින් නායක දසුන් ශානක පිතිකරණ අනුපිළිවෙළේ උසස්වීමක් ලබමින් අංක 5 පිතිකරු ලෙසින් පිටියට පිවිසියද ඔහුට රැස් කරගත හැකි වූයේ පන්දු 6 කදී එක් ලකුණකි. දසුන්ගේ ඉවත්ව යෑමෙන් පසු චරිත් අසලංකට එක් වුණු පවන් රත්නායක පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 56 ක් ලකුණු පුවරුවේ රැඳවූහ.
ඉදිරි පෙළ පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස් කිරීම නිසා 13 වැනි පන්දුවාරය අවසන් වන විටත් පන්දුවාරයකට ලකුණු 10 කට ආසන්න වේගයක් රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිණ. එහෙත් 14 වැනි පන්දුවාරයේ ලකුණු ලබා ගැනීමේ වේගය පැහැදිළිවම අඩුවීමක් දක්නට ලැබුණු අතර එතැනි සිට යවන ලද පන්දු 24 කදී ශ්‍රී ලංකාවට රැස් කරගෙන තිබුණේ ලකුණු 17 ක් පමණි. ඒ අතරතුර කාලයේදී කඩුලු 2 ක්ද අහිමිවිය.
ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 189 යි – (පැතුම් නිස්සංක 34, කමිල් මිශාර 36, කුසල් මෙන්ඩිස් 32, පවන් රත්නායක 40, කසුන් ශානක 01, චරිත් අසලංක 28*, ජනිත් ලියනගේ 01*, ජොෆ්රා ආචර් 42/2, විල් ජැක්ස් 24/1, ලියම් ඩෝසන් 32/1, අදිල් රශීඩ් 25/1)
එංගලන්තය පන්දුවාර 16.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 173 යි – (පිල් සෝල්ට් 01, ජොස් බට්ලර් 39, ජෙකොබ් බෙතල් 13, ටොම් බැන්ටම් 54*, හැරී බෘෘක් 36, සෑම් කරන් 20*, මතීෂ පතිරණ 47/2, දසුන් ශානක 24/1, දුනිත් වෙල්ලාලගේ 30/1)
Source;srilankacricket.lk














