‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා භාර දෙයි

රජයට රුපියල් 8,859,708.00ක පාඩුවක් සිදුකිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිෂම විසින් අද (27) දින  බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ය.

අධිකරණය නිකුත් කර තිබූ සිතාසියකට අනුව විත්තිකාර කුමාර ජයකොඩි අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

අධිචෝදනා භාර දීමෙන් අනතුරුව විත්තිකාර බලශක්ති අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා, විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියම කළේ ය.

ඉන් අනතුරුව මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි මස 6 වන දා කැඳවන ලෙසත් අධිකරණය නියම කළේ ය.

2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කරමින් ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සම්බන්ධයෙන් පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පෞද්ගලික සමාගමකට වාසියක් අත්වන ආකාරයෙන් කටයුතු කරමින් රජයට රුපියල් 8,859,708.00ක පාඩුවක් සිදුකිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මගින් අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කරනු ලැබ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website