පසුගිය දිනවල පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා කිරි ගවයින් 30,000ක් සහ එළුවන් 15,000ක් මිය ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.කේ. සරත් මහතා පවසයි.
ඊයේ (08) කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව හෙළි කළේය.
වැඩිම හානිය සිදු වී ඇත්තේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ පශු සම්පත්වලට බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.
ගංවතුර හේතු වෙන් තෘණ බිම් වැඩි වශයෙන් විනාශයට පත් වීම නිසා සතුන්ගේ පෝෂණ තත්ත්වයට එය ඍජුව බලපාන බවත්, සතුන් විවිධ වසන්ගත රෝගී තත්ත්වවලට පත්වීමේ අවදානමක් ද මේ වන විට උද්ගත වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ගොවිපොළ සතුන්ගේ යම් රෝගී තත්ත්වයක් පෙන්නුම් කරනවා නම් වහාම පශු වෛද්‍ය කාර්යාල වෙත ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ද සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.කේ. සරත් මහතා පශු ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.
ආපදා තත්ත්වය හේතුවෙන් කුකුළු ගොවිපළවලට ද යම් බලපෑමක් එල්ල වී ඇති නමුත්, ඒ හේතුවෙන් කුකුල් මස් හිඟයක් හෝ බිත්තර මිල වැඩි වීමක් සිදු නොවන බවත් වැඩි මිලට කිසියම් නිෂ්පාදයෙක් නිෂ්පාදන අලෙවි කළහොත් ඒ සම්බනධයෙන් රජය මැදිහත් වන බව ද සරත් මහතා පැවසුවේය.
















