දිට්වා සුළි කුණාටුව: ජනපති ඇතුළු කැබිනට් මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන විසින් එම පෙත්සම ඉදිරිපත් කරනු ලැබී ය. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍යය හරිණි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, තම නීතිඥ කාර්යාලය මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටා තිබෙන අතර, පසුගිය දිනවල ඇති වූ සුළි කුණාටු හා ගංවතුර තත්ත්වය හේතුවෙන් එම කාර්යාලය සම්පූර්ණයෙන් ම විනාශයට පත්වූ බව ය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සිය පරිගණක පද්ධතියේ තිබූ වැදගත් දත්ත රැසක් විනාශයට පත් වී ඇති බවත් මේ හේතුවෙන් සිය වෘත්තියට දැඩි පාඩුවක් සිදුවී ඇති බවත් ඔහු චෝදනා කරයි.

ආපදා තත්ත්වයක් ඇතිවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත්භාවය හෝ රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙවැනි විනාශකාරී තත්ත්වයක් උද්ගත වූ බවත් ඔවුන් පෙර සූදානමකින් කටයුතු කර තිබුණේ නම් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු කියා සිටී.

විශේෂයෙන් ම, කොත්මලේ ජලාශයේ ජලය මුදා හැරීමට පෙර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේ නම් ගම්පොළ, ගලහ , පේරාදෙණිය සහ මහනුවර යන ප්‍රදේශවල ජලගැලීම් හේතුවෙන් සිදුවූ දැවැන්ත හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු කියා සිටී.

ඒ අනුව, වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

මූලාශ්‍රය – bbc.com sinhala

https://www.bbc.com/sinhala/articles/cjrjrxy9j2no

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website