දිට්වා කුණාටු ආපදාවට ගොදුරු වූ නිවාස ගොඩනැඟීමේ දී මතුව ඇති අභියෝග

සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය විසින් සැම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව කාලීන සංවාද මාලාවේ 264 වැනි කතිකාව පසුගිය ඉරිදා ‘දිට්වා කුණාටු ආපදාවට ගොදුරු වූ නිවාස ගොඩනැීමේ දී මතුව ඇති අභියෝග යන තේමාව යටතේ පවත්වන ලදි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ උප සභාපති, භාරත් අරුල්සාමි, මහාචාර්ය රොහාන් සමරජීව සහ දිරිය කාන්තා පදනම නියෝජනය කරමින් සන්ධ්‍යා පියසේන යන සම්පත්දායකයින් සහභාගී වූ අතර හරීන්ද්‍ර බී දසනායක විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේ ය. මෙම කතිකාව ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

පවුල් දහස් ගණනක් තවමත් අවතැන්ව සිටීම බරපතළ මානුෂික ප්‍රශ්නයක් – මහාචාර්ය රොහාන් සමරජීව

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් දෛනිකව ‘තත්ත්ව වාර්තාවක් / Situation Report’ ඉදිරිපත් කරන අතර  බිම් මට්ටමේ සිට (ග්‍රාම නිලධාරී) තොරතුරු ලබා ගන්නා හෙයින් එය විශ්වාසනීය වාර්තාවක් ලෙස සැලකිය හැකිය. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පසුගිය මාර්තු 01 වැනි දා නිකුත් කළ තත්ත්ව වාර්තාවට අනුව දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නිවාස 5933ක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 1,15,501ක් විය. මාර්තු 01 වැනි දා වන විට ද ආරක්ෂිත මධ්‍යස්ථාන / Safety Center 32ක පවුල් 1075කට අයත් පුද්ගලයින් 3146 දෙනකු නවාතැන් ගෙන සිටීහ. එසේම ඥාතීන්, මිත්‍රයින් හෝ වෙනස් ස්ථානවල (Displaced Population Staying with Relatives, Friends or in Other Locations) පවුල් 43,831කට අයත් පුද්ගලයින් 149,927 දෙනෙක් නවාතැන් ගෙන සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පසුගිය මාර්තු 01 වැනිදා නිකුත් කළ තත්ත්ව වාර්තාවේ සඳහන් කළේය.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාර්තු 01 වැනි දින තත්ත්ව වාර්තාවට අනුව සම්පූර්ණයෙන් විනාශයට පත් නිවාස වැඩිම ප්‍රමාණයක් ඇත්තේ මහ නුවර දිස්ත්‍රික්කයේ ය. එය 1775කි. පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 651ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 634ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 587ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 549ක්, ආදි වශයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සම්පූර්ණයෙන් විනාශයට පත් නිවාස වාර්තා වේ.

අර්ධ වශයෙන් හානි වූ නිවාස  / Partially වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය නිවාස 21,353කි. මහ නුවර නිවාස 21,353ක්, කෑගල්ල නිවාස 12,737ක්, ගම්පහ නිවාස 10,037ක්, පුත්තලම නිවාස 9931ක් ආදි වශයෙන් දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි අර්ධ හානි වූ නිවාස වාර්තා වේ.

  • රක්ෂිත මධ්‍යස්ථාන

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව මාර්තු 01 වැනිදා වන විට අරක්ෂිත මධ්‍යස්ථාන / Safety Center වැඩිම ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේය. එය 16කි. නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ආරක්ෂිත මධ්‍යස්ථාන 07 බැගින් ක්‍රියාත්මක වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ද ආරක්ෂිත මධ්‍යස්ථාන 02ක් ක්‍රියාත්මක විම විශේෂත්වයකි. එම ආරක්ෂිත මධ්‍යස්ථාන 02 තුළ පවුල් 18කට අයත් පුද්ගලයින් 61 දෙනකු සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඥාතීන්, මිත්‍රයින් හෝ වෙනත් ස්ථානවල පදිංචිව සිටින පවුල් 43,831න් වැඩිම පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර පවුල් 17,833කට අයත් පුද්ගලයින් 60,691ක් මේ ආකාරයෙන් ජීවත් වෙති. කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 10,860කට අයත් පුද්ගලයින් 36,060ක් ද, මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 6670කට අයත් පුද්ගලයින් 23,083ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 5880කට අයත් පුද්ගලයින් 21,473ක් ද  මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 2507කට අයත් පුද්ගලයින් 8513ක් ද ඥාතීන්, මිත්‍රයින් හෝ වෙනත් ස්ථානවල වාසය කරති.

  • බරපතළ මානුෂික ප්‍රශ්නයක්

“මේ දත්ත විශ්ලේෂණය කරන විට අපට පැහැදිලි වෙනවා බොහෝ විට වතු ආශ්‍රිත ජනතාව තමයි වැඩි වශයෙන් විපතට පත්ව සිටින්නේ කියලා” මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දුන්නේය.

මෙහි දී මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දුන්නේ මේ ආකාරයෙන් ආරක්ෂිත නිවාස හෝ තමන්ගේ නොවන වෙනත් ස්ථානවල පවුල් 43,831ක් මාස තුනකට වැඩි කාලයක් පුරා ජීවත් වීම බරපතළ මානුෂික ගැටලුවක් බවයි.

“මේ පවුල් 43,831  ඉන්නේ ඉතාම අවිනිශ්චිත තත්ත්වයක. ඔවුන්ට මාස තුනක් ගත වෙලත් තමන්ගේ නිවසට යාමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම රජය විසින් නඩත්තු කරන ආරක්ෂිත මධ්‍යස්ථානවල තවත් පවුල් 1075ක් ඉන්නවා. ඒ කියන්නේ පවුල් 45,000කට ආසන්න පිරිසක් දිට්වා සුළි කුණාටුවෙන් මාස තුනකට පසුවත් තමන්ගේ නිවසට යාමට නොහැකිව අවතැන්ව සිටිනවා. මේක කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවෙයි, බරපතළ මානුෂික ප්‍රශ්නයක්” මහාචාර්ය සමරජීව පැවසුවේය.

  • රජයෙන් ලැබුණේ මොනවා ද ?

දිට්වා සුළි කුණාටුුවෙන් පීඩාවට පත් පවුල් වලට යළි සිය නිවාස වලට යාමට අවශ්‍ය පහසුකම් සලසා ගැනීම වෙනුවෙන් (නිවාස පිරිසිදු කර ගැනිමට) රජය රුපියල් 25,000ක, 50,000ක ආදි වශයෙන් දීමනාවක් ලබා දුන්නේය. ආරක්ෂික අමාත්‍යාංශය උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කළේ රුපියල් 25,000ක දීමනාව 98%කට අධික පිරිසකටත්, රුපියල් 50,000ක දීමනාව 75%ක අධික පිරිසකටත් ලබා දී ඇති බවයි.

එසේම තමාගේ නිවසේ පදිංචියට යාමට නොහැකි නම් නිවසක් කුලියට ගැනීම වෙනුවෙන් රජය ලබා දෙන මුදල පසුගිය පෙබරවාරී මාසය අවසන් වන විට ලැබී තිබුණේ 36.3%කට පමණක් බව මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් මහාචාර්ය රොහාන් සමරජීව පෙන්නා දුන්නේය.

  • දත්ත ගැන සැකයක්

මෙහිදී අපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දෛනිකව නිකුත් කරන තත්ත්ව වාර්තාවේ සඳහන් දත්ත මහාචාර්ය සමරජීව ප්‍රශ්න කළ අතර ඔහු එකී දත්ත සම්බන්ධයෙන් සිය අවිශ්වාසය ද පළ කළේය. ඔහු පෙන්වා දුන්නේ සම්පුර්ණයෙන් විනාශ වු නිවාස, අර්ධ හානි වූ නිවාස ද ඇතුළු දත්ත ඥාතීන්ගේ, මිත්‍රයින්ගේ හෝ වෙනත් ස්ථානවල වාසය කරන ජනතාවගේ දත්ත සමඟ සමපාත නොවන බවත් චිත්‍රය විකෘති කරන බවත්ය.

“මේ දත්ත කතාව වෙනත් තැනකට ගෙන යනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත අනුව බැලුවත් මාර්තු 01 වැනි දා වන විට සම්පූර්ණයෙන් විනාශයට පත් නිවාස 5933ක් සහ අර්ධ වශයෙන් හානියට පත් නිසා 115,501ක් තිබෙනවා. අර්ධ වශයෙන් හානි වූ නිවාස වලින් 50%ක් යළි පදිංචියට යාමට අපහසු තත්ත්වයේ පවතින බව සැලකුවත් සමස්තයක් ලෙස නිවාස 60,000ක් පමණ අලුතින් ගොඩනැගිය යුතු තත්ත්වයක තිබෙනවා. නමුත් ගැටලුව තමයි සුළි කුණාටුව ඇති වෙලා මේ වන විට මාස තුනකට අධික කාලයක් ගත වෙලා තිබෙනවා. එපමණ කාලයක් ගියත් මේ පවුල් දහස් ගණනක් අදත් අවතැන්ව සිටිනවා නම් ඒක ගැටලුකාරී තත්ත්වයක්. මම විශ්වාස කරන ආකාරයට ඔවුන්ගේ සමස්ත පවුල් ජීවිතයම බිඳ වැටී තිබෙනවා. ඔවුන්ගේ ජීවිකාව අහිමි වීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම ඇතුළු ගැටලු ගණනාවකට මේ පුද්ගලයින්, පවුල් මුහුණ දෙනවා. ඒ වගේම සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවිම ද ඇතුළු පොදු පහසුකම් ගැටලු ගණනාවකට මේ පවුල් මුහුණ දෙනවා. ඒ වගේම වෙනත් පුද්ගලයෙකුගේ හෝ පවුල කරුණාව, ඉවසීම මත ඔවුන්ට තව දුරටත්, මාස ගණනාවක් ජීවත් වීමට සිදු වෙලා තියෙනවා” මෙහි දී මහාචාර්ය සමරජීව අවධාරණයෙන් යුතුව පෙන්වා දුන්නේ හැකි ඉක්මනින් මෙම ජනතාව යළි පදිංචි කරවිමට රජය සහ අදාළ ආයතන කඩිනමින් පියවර ගත යුතු බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව අලුත් නිවාස 6000කට ආසන්න ප්‍රමාණයක් රජය විසින් අලුතින් ඉදිකළ යුතු බව පෙන්වා දුන් මහාචාර්යවරයා පසුගිය සුනාමි ව්‍යවසනයේ අත්දැකීම් අනුව අලුතින් නිවාස ඉදිකිරීම වෙනුවෙන් ගතවිය හැකි කාලය සම්බන්ධ ‘යම් අවබෝධයක්’ ලබාගත හැකි බව ද පෙන්වා දුන්නේය.

  • තවත් ගැටලු

අලුතින් නිවාස 6000ක් පමණ ඉදිකළ යුතුව තිබුණත් ඒ හරහා තවත් ගැටලු ගණනාවක් නිර්මාණය වන බව මහාචාර්ය සමරජීව සඳහන් කළේය. ඒ අතර බරපතළම ගැටලුව, අභියෝගය ලෙස ඔහු පෙන්වා දුන්නේ අදාළ ඉදිකිරීම් වෙනුවෙන් ඉඩම් ලබා ගැනීමට ඇති අපහසුතාවයි.

නායයෑමට ලක් වූ ස්ථානවල යළි ඉදිකිරීම් කළ නොහැකි බවත් එම ස්ථානවල පදිංචි වී සිටි ජනතාව වෙනත් ස්ථානවල යළි පදිංචි කරවීමේ දී මාර්ග, පානීය ජලය, විදුලිය ආදි යටිතල පහසුකම් ලබාදිය යුතු බවත් කී මහාචාර්ය සමරජීව යටිතල පහසුකම් ද ප්‍රමාණවත් ලෙස පවතින අලුත් ඉඩම් නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවලින් සොයා ගැනීමේ අපහසුතාව පැහැදිලි කළේය.

“මාස තුනක් තිස්සේ මේ ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථාන හෝ වෙනත් ස්ථානවල රැකවරණය ලබනවා කියන එකේ අදහස තමයි ආණ්ඩුව අලුත් නිවාස ඉදිකිරීම ආරම්භ කරලා නැහැ කියන එක. මගේ තක්සේරුව නම් මේ ගෙවල් ඉදිකිරීම් අවසන් කරන්න අවම වශයෙන් අවුරුදු දෙකක් පමණ ගත වෙයි. මේ සමඟ උද්ගත වන අනෙක් ප්‍රශ්නය තමයි මේ දක්වා කාලයක් මේ පවුල් ජීවත් වෙන්නේ කොහෙද කියන එක. එම පවුල්වලට අදාළ යටිතල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් ලබාදීම ආණ්ඩුවේ වගකීමක්” මහාචාර්ය සමරජීව පෙන්නා දුන්නේය.

මෙහි දී ජාත්‍යන්තර උදාහරණ ඇසුරින් මහාචාර්ය සමරජීව පෙන්නා දුන්නේ ‘අතරමැදි නිවාස හෝ තාවකාලික නිවාස’ ඉදිකිරීමේ හැකියාවක් ආණ්ඩුවට පවතින බවයි.

  • නිවාස ඉදිකිරීමේ උභතෝකෝටිකය

අවම වශයෙන් නිවාස 6000ක් අලුතින් ඉදිකිරීමට යාමේ දී ආණ්ඩුවට දැරීමට සිදුවන මූල්‍ය පිරිවැය ගැන මෙහි දී මහාචාර්ය සමරජීව දීර්ඝ විශ්ලේෂණයක් කළේය. නිවාස ඉදිකිරීමට භාවිතා කරන සිමෙන්ති ඇතුළු සියලු අමුද්‍රව්‍ය මත දැවැන්ත තීරු බදු පීඩනයක් පවතින බව පෙන්වා දුන් මහාචාර්ය සමරජීව මේ හේතුවෙන් ඉදිකිරිම් පිරිවැය දරාගත නොහැකි ආකාරයට ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.

“අප සතුව තිබෙන සම්පත්වලින් අවම වශයෙන් අලුතින් නිවාස 60,000ක් පමණ ඉදිකිරීම, තවත් නිවාස 60,000ක පමණ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට විශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍යයි. ප්‍රශ්නය තියෙන්නේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් නිවාස යළි ඉදිකිරීමේ දී හෝ ප්‍රතිසංස්කරණය කිරීමේ දී ආනයනික අමුද්‍රව්‍ය මත හෝ දේශීය නිෂ්පාදන මත බදු අය පැනවීමක් කරනවා ද කියන එකයි. යම්කිසි ආකාරයකින් රේගු බදු, වැට් බදු ආදි විවිධ බදු පැනවිම කළොත් මේ නිවාස ඉදිකිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම අතිෂය වියදම්කාරී වැඩක් වෙනවා. සමස්තයක් ලෙස ආණ්ඩුව තම බදු ආදායමෙන් 38%ක් පමණ උපයා ගන්නේ ආනයන මත බදු පැනවීම තුළින්. ඒ අනුව සුළි කුණාටුවෙන් විනාශයට පත් නිවාස යළි ඉදිකිරීමේ දී හෝ ප්‍රතිසංස්කරණය කිරීමේ දී අදාළ ඉදිකිරීම් භාණ්ඩ වෙනුවෙන් බදු අය කිරීමක් කරනවා ද – නැද්ද  යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතුයි. ඒකට හේතුව තමයි මේ නිවාස යළි ඉදිකිරීම වෙනුවෙන් ආණ්ඩුව වැය කරන්නෙත් දේශීය වශයෙන් උපයා ගත් මුදල්. බදු වලින් උපයා ගත් මුදල්” මහාචාර්ය සමරජීව තම තර්කය තව දුරටත් පැහැදිලි කළේය.

  • කළ යුත්තේ කුමක් ද ?

දිට්වා සුළි කුණාටුවන් විනාශයට පත් වූ නිවාස යළි ඉදිකිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ අවතැන් වූ ජනතාව යළි පදිංචි කරයීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවත් ඔවුන් යළි පදිංචි කරවීමට රජය බැඳී සිටින බවත්ය.

“මේක ලොකු ප්‍රශ්නයක්, අමතක නොකළ යුතු ප්‍රශ්නයක්” මහාචාර්යවරයා අවධාරණය කළේය.

මෙම නිවාස යළි ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් කාර්ය සාධන බළකායක් ස්ථාපිත කිරීම වඩාත් සුදුසු පියවරක් ලෙස ඔහු පෙන්වා දුන්නේය. එසේම සුළි කුණාටුවන් විනාශයට පත් නිවාස යළි ඉදිකිරීම වෙනුවෙන් ආනයනය කරනු ලබන ගොඩනැගිලි ද්‍රව්‍යවලට බදු පැනවීම ද ඔහු යළි ප්‍රශ්න කළේය.

මලයගම් ජනතාවගේ ගැටලුවට තිරසර විසුමක් දෙන්න ආණ්ඩුවට වුවමනාවක් නැහැ – භාරත් අරුල්සාමි

දිට්වා සුළි කුණාටුවෙන් වඩාත් වැඩි බලපෑමක් එල්ල වූයේ මධ්‍යම කඳුකරයේ ජීවත් වන වතු ජනතාවට සහ වතු ආශ්‍රිත ජනතාවටය. විශේෂයෙන් නායයෑම් හේතුවෙන් මරණ විශාල ප්‍රමාණයක් මෙම ප්‍රජාවන් ආශ්‍රිතව වාර්තා වූ අතර සම්පූර්ණයෙන් සහ අර්ධ වශයෙන් විනාශයට පත් නිවාස බහුතරය ද වතුකරය ආශ්‍රිත ප්‍රජාවට අයත් නිවාසය. මෙම ප්‍රජාවෙන් සැලකිය යුතු පිරිසක් මේ දක්වා ආරක්ෂිත මධ්‍යස්ථානවල හෝ ඥාතීන්, මිත්‍රයින් හෝ වෙනත් ස්ථානවල ජීවත් වෙති.

රජය මෙම ප්‍රජාවට නිවාස ලබා දීමේ දී හෝ යළි පදිංචි කරවීමේ දී ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන අතර ‘තමන් රැවටීමට ලක් කළා’ යන අදහසක් මලයගම් ජනතාව අතර පවතී.

  • ආපදා සහ මලයගම් ප්‍රජාව

“දිට්වා සුළි කුණාටුව ඇති වෙලා මස තුනක් ගත වුණත් මලයගම් ජනතාවට සිදු වුණ ජීවිත හානි, අතුරුදන් විම්, නිවාස සහ දේපොළ හානි සහ ආර්ථික හානි සම්බන්ධයෙන් ආණ්ඩුව සතුව නිවැරදි දත්ත නැහැ. නමුත් අපි බිම් මට්ටමේ සිට රැස් කළ දත්ත වලට අනුව මලයගම් ජනතාවට අයත් පවුල් 4113ක් ඍජුව විපතට පත්ව සිටිනවා. මලයගම් ප්‍රජාවට අයත් පුද්ගලයින් 73 දෙනෙක් මිය ගොස් තිබෙනවා. මේ දත්ත අනුව අපට පැහැදිලි වෙනවා දිට්වා සුළි කුණාටුවෙන් වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ මලයගම් ජනතාව බව” මෙහි දී භාරත් අරුල්සාම් පෙන්වා දුන්නේ ස්වභාවික ආපදා, විශේෂයෙන් නායයෑම් වතුකරයට අලුත් අත්දැකීමක් නොවන බවයි. සෑම වර්ෂයකම මෝසම් වර්ෂා සමයේ වතුකරයේ, විශේෂයෙන් මලයගම් පවුල් කිහිපයක් නායයෑම්වලට ගොදුරු වන බවත්, පවුල් විශාල ප්‍රමාණයක් අවතැන් වන බවත් භාරත් අරුල්සාමි පැවසුවේය.

මලගයම් ප්‍රජාව අවතැන් වන සෑම අවස්ථාවකම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ද ඇතුළු රාජ්‍ය ආයතනවලින් මෙම ජනතාවට අවශ්‍ය සේවාවන් ප්‍රමාණවත් පරිදි නොලැබුණු බවට චෝදනා කළ භාරත් අරුල්සාමී වත්මන් රජය යටතේ ද එකී තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් සිදු නොවූ බව සඳහන් කළේය.

“ස්වභාවික ආපදාවක් සිදුවන අවස්ථාවේ දී එපමණක් ඔවුන් ගැන කතා කරනවා. නමුත් එයින් පසුව කිසිවක් සිදුවන්නේ නැහැ” ඔහු පැවසුවේය.

මෙහි දී ඔහු පැහැදිලි කළේ ස්වභාවික ආපදා වළක්වා ගැනීමට, ආපදාවන්ට මුහුණ දීමට සහ ආපදාවන්ගෙන් පසු යළි ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීමට ආදි ප්‍රමාණවත් මාර්ගෝපදේශ සහ සහායන් රජය විසින් ලබා නොදුන් බවයි.

“මම බොහෝම වගකීමෙන් මේ ප්‍රකාශය කරන්නේ” අරුල්සාමි පැවසුවේය.

  • බිහිසුණු තත්ත්වයක්

ආපදාවෙන් පසු නායයෑම් සිදුවුණ ස්ථාන සහ අවදානම් කලාපවල ජනතාව යළි පදිංචි නොකරන බවට රජය සහතික වුව ද එම ස්ථානවල පදිංචිව සිටි ජනතාව යළි එකී අවදානම් ස්ථානවල පදිංචි කරවීමට හෝ පදිංචියට යන ලෙස බල කිරීමක් සිදුවන බවට අරුල්සාමි පැවසුවේය.

“මේක බරපතළ තත්ත්වයක්. ආණ්ඩුව පොරොන්දු වුණා අවදානම් කලාපවල ජනතාව යළි පදිංචි නොකරන බවට. ඔවුන්ට විකල්ප ඉඩම් ලබා දෙන බවට ආණ්ඩුව සහතික වුණා. නමුත් මේ වන විට ඒ සියලු පොරොන්දු කඩකරලා. ජනතාවට යළි තමන් පදිංචිව සිටි ස්ථානවලට යන ලෙස රජයේ නිලධාරීන් දැනුම් දී තිබෙනවා. ඇතැම් අවස්ථාවල බල කරනවා”යැයි කී අරුල්සාමි කොළඹ සිටින ජනතාව මේ තත්ත්වය නොදන්නා බවත් භූමියේ සිදුවන දේ ඔවුන් දන්නා දේට වඩා බොහෝ වෙනස් බවත් කීවේය.

“මේක මගේ මැතිවරණ කොට්ඨාශයේ සිදුවෙනවා. නායයෑමට ලක්වුණ ස්ථානවලටම යළි පදිංචියට යන ලෙස බලධාරීන් ඒ ජනතාවට බලපෑම් කරනවා” අරුල් යළි සඳහන් කළේය.

මෙසේ පදිංචියට යන ජනතාවට මාසයකට රුපියල් 25,000ක ගෙවල් කුලියක් ලබා දෙන බවට බලධාරීන් පොරොන්දු වී ඇති අතර මෙම මුදල ලබා ගෙන අදාළ නිවාසවලම යළි පදිංචි වන ලෙස බලධාරීන් විපතට පත් ජනතාවට දැනුම් දී ඇති බව භාරත් අරුල්සාමි හෙළි කළේය.

“මුළු ගමම අවතැන් වෙලා. ඔවුන් වෙනත් ස්ථාන සොයා ගන්නේ කොහොමද ?, කුලියට නිවාස ලබා ගන්නේ කොහෙන් ද ? මේ ප්‍රශ්නය දෙස අපි මානුෂිකව බැලිය යුතුයි” අරුල්සාමි කීවේය.

  • සත්තු වගේ ජීවත් වෙනවා

නුවරඑළිය, මහනුවර, බදුල්ල ඇතුළු වඩාත්ම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල වාසය කළ මලයගම් ජනතාව මූලික පහසුකම් පවා අහිමි තාවකාලික නිවාස වල ‘සත්තු ගොඩක්’ ජීවත් වන බවට චෝදනා කළ අරුල්සාමි රජය මේ ගැටලුවට විසඳුම් සෙවීමට කාර්ය සාධන බළකායක් පත් කළ බව ද සඳහන් කළේය.

“කියන්න කණගාටුම් මේ කාර්යසාධන බළකාය අද වන තෙක් මේ ගැටලුවට විසඳුමක් ඉදිරිපත් කරලා නැහැ. එ් වගේම හානියට පත් නිවාසවල යළි පදිංචියට යාමේ දී එම නිවාස පිරිසිදු කර ගැනීමට රජය විසින් ලබා දුන් රුපියල් 25,000ක මුදල මලයගම් ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට ලැබිලා නැහැ” යැයි පෙන්නා දුන් අරුල් මලයගම් ජනතාව මුහුණ දෙන තවත් බරපතළ ගැටලුවක් හෙළි කළේය.

“රුපියල් මිලියන පහක වන්දිය ගෙවන්න නම් නිලධාරීන් අපෙන් ඉඩමට අදාළ ඔප්පුව ඉල්ලුවා. මේක බරපතළ තත්ත්වයක්. අපේ ජනතාවගෙන් බහුතර පිරිසකට පදිංචිව සිටින ඉඩමේ අයිතිය නැහැ, ඔප්පු නැහැ. ආණ්ඩුව අපට ඉඩමේ අයිතිය, ඔප්පුව දෙන්නේ නැතිනම් අපි කොහෙන් ද ඔප්පුවක් දෙන්නේ ?” අරුල් ප්‍රශ්න කළේය.

කුණාටුවෙන් විපතට පත් මලයගම් ජනතාව ගැටලු ගණනාවකට මුහුණ දී සිටින බව පැහැදිලි කළ භාරත් අරුල්සාමි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙම ගැටලු සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දිමක් කළ බව ද පැවසුවේය.

“අපේ පක්ෂයේ නායක මනෝ ගනේෂන් මේ ගැටලු ගැන ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. මේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න සියලු පාර්ශ්ව නියෝජනය වන සාකච්ඡාවක් කැඳවන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. නමුක් කියන්න කණගාටුයි අද වන තෙක් මේ සම්බන්ධයෙන් පිළිතුරක් නැහැ” දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මලයගම් ජනතාව වර්තමානයේ දී මුහුණ දී සිටින අභියෝග සම්බන්ධයෙන් පැහැදිලි කරමින් භාරත් අරුල්සාමි පැවසුවේය.

කිව්ව තරම් කිසිම දෙයක් වෙලා නැහැ – සන්ධ්‍යා පියසේන

දිට්වා සුළි කුණාටුව කළ විනාශය ගැන බොහෝ දෙනා දන්නේ ජනමාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ තොරතුරු පමණය. දැවැන්ත විනාශයන් පුවත්පත් ශීර්ෂපාඨ වූ අතර රූපවාහිනී නාළිකාවල තත්ත්පර කිහිපයක ප්‍රවෘත්තියකට සීමා විය. එහෙත් මේ ව්‍යවසනය සැබවින්ම දුටු අයෙකුට සිතෙනු ඇත්තේ ‘අපි ජීවත් වීම පුදුමයක්’ ලෙස ය. අද සමාජයට මේ ව්‍යවසනය ක්‍රමයෙන් අමතක වෙමින් තිබුණ ද එයට මුහුණ දුන් වින්දිතයින් බවට පත් වූවන්ට මෙය කිසිදා අමතක කළ නොහැකි ව්‍යවසනයකි.

“තාම කිසිවෙක් සතුව නිශ්චිත තොරතුරු, දත්ත නැහැ. සිද්ධ වුණේ කුමක් ද ? කියලා තාම සොයා ගෙන යනවා” කතිකාව සංවාදයට එක් වෙමින් සන්ධ්‍යා පියසේන කීවාය. දිරිය කාන්තා පදනමේ සාමාජිකාව වන ඇය දිට්වා කළ විනාශය සියැසින් දුටු අතර විපතට පත් ජනතාව වෙනුවෙන් කටයුතු කළාය.

දිට්වා සුළි කුණාටුවට මාස තුනකට අධික කාලයක් ගත වුවත් සැලකිය යුතු පිරිසක් අදත් රැකවරණ මධ්‍යස්ථාන හෝ වෙනත් තැන ජීවත් වන බව සන්ධ්‍යා පැවසුවා ය. ස්වාධීනව, අභිමානයෙන් ජීවත් වූ පුරවැසියන් අනාථයින් ලෙස වර්තමානයේ මුහුණ දෙන ශෝචනීය තත්ත්වය ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.

මෙහිදී ඇය පෙන්නා දුන්නේ නායයෑමට ලක් වූ ඉඩම්වල බෝග වලින් ප්‍රයෝජන ගැනීම අසීරු වී ඇති බවයි. බොහෝ නිවාසවල එක් කොටසක් පමණක් නායයෑමට ලක්ව අනෙක් කොටස ඉතිරි වී ඇති අතර එවැනි තත්ත්වයන්ට මුහුුණ දී සිටින පවුල් වඩාත් අසරණවී සිටින බව සන්ධ්‍යා පියසේන මහත්මිය පැවසුවාය.

‘බොහෝ දෙනෙක්ට දැන් තත්ත්වය ක්‍රමයෙන් අමතක වෙමින් තිබෙනවා. ඒ නිසා විපතට පත් ජනතාවට තමන් ගැන පමණක් විශ්වාසය තැබීමට සිදුවෙලා තිබෙනවා” ඇය දිට්වා  කුණුටුවෙන් විපතට පත් ජනතාව වර්තමානයේ මුහුණ දෙන අභියෝග පැහැදිලි කරමින් ප්‍රකාශ කළාය.

“මං හිතන්නේ කිව්ව තරම් කිසිම දෙයක් වෙලා නැහැ. ලෝකයේ බොහෝ තැන්වලින් ආධාර ලැබුණත් ඒ ආධාර නිසි පරිදි ජනතාව අතට පත්වෙලා නැහැ” සන්ධ්‍යා පියසේන මහත්මිය සිය අත්දැකීම් මත පදනම්ව පැවසුවාය.

අපට ආණ්ඩුවෙන් එක රුපියල් ලැබුණේ නැහැ – ෆාතිමා රිජානා

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ නායයෑම්වල වින්දිතයෙකු වන ෆාතිමා රිජානා මහත්මිය පැවසුවේ අවතැන් වූවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම ද ඇතුළුව යළි සාමාන්‍ය ජීවිතය ආරම්භ කිරීමට අවශ්‍ය සහාය සහ ආධාර ලබා දෙන බව රජය විසින් ප්‍රකාශ කළ බවයි. එහෙත් මේ දක්වා අදාළ කිසිම සහනයක් හෝ ආධාරයක් තමන්ට නොලැබුණු බව ඇය මෙහි දී හෙළි කළාය.

“අපේ ගෙදර නායයෑමට ලක් වුණා. ඊට පස්සේ අපි කඳවුරකට ගියා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා ලැබුණට පස්සේ රජය කිව්වා ‘කඳවුරුවල ඉන්න එපා, වහාම කුලී ගේකට යන්න, අපි මාස හයක කුලිය එකවර දෙනවා කියලා. ඒ වචනේ අහලා අපි කුලී ගේකට ගියා. එදා අපට රජය කිව්වා,ගේ හදා ගන්න රුපියල් මිලියන පනහක් දෙනවා, ඉඩමක් ගන්න රුපියල් මිලියන පනහක් දෙනවා කියලා අධ්‍යාපනය ලබන දරුවන්ට රුපියල් 25,000ක් දෙනවා කියලා කිව්වා. පස්සේ ඒක 15,000 බවට පත් වුණා.  ගෙවල් සුද්ද කරගන්න රුපියල් 25,000ක් දෙනවා කිව්වා. ඒ හැම දේකටම අපෙන් ලියකියවිලි වලට අත්සන් ලබා ගත්තා. අපි කුලී ගේකට ගියේ ජනවාරී 02 වැනිදා. අද මාර්තු 01 වැනිදා. අද දක්වා අපට රජයෙන් කියලා එක රුපියලක් ලැබිලා නැහැ. අපෙන් ගත්ත ලියුම්වලට කිසිම ප්‍රතිචාරයක් නැහැ. අපේ ඉඩම් පවා සම්පූර්ණයෙන් නාය ගිහින් තියෙන්නේ. අවස්ථා දෙකකදී පමණක් අපට ජීවනාධාරයක් ලබා දුන්නා. ඊට පස්සේ කිසිම දෙයක් නැහැ. අද අපට කිසිම ආදායම් මාර්ගයක් නැහැ” භාතිමා තම පවුල මුහුණ දී සිටින තත්ත්වය පැහැදිලි කරමින් පැවසුවාය.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website