දිට්වා සුළි කුණාටුව සිදුවී දින 95කට පසුවත් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බව සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් කුමාර පවසයි.
සහන බෙදා හැරීමේ නිරත ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සහ හානි තක්සේරු ඇස්තමේන්තු සකස් කිරීම සඳහා වගකිව යුතු තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය එක්ව අඛණ්ඩ සහන කටයුතු පිළිබඳව සාකච්ඡා කළ අතර, සහන සේවා නිසි ලෙස සැපයීම පිළිබඳව බොහෝ අවස්ථාවලදී රජයට යෝජනා කළත් ව්‍යසනයෙන් දින 95කට පසුවත් නිසි යාන්ත්‍රණයක් හඳුන්වා දීමට රජය සහ නිලධාරීන් අපොහොසත් වී ඇති බව ඔහු පැවසීය.
සහන සේවාවල නියැලී සිටින නිලධාරීන්ට අමතර රාජකාරී වල යෙදීමට සිදුවන බැවින් ඒ සඳහා අමතර ගෙවීමක් ඉල්ලා සිටින බවත්, තවමත් කිසිදු ගෙවීමක් අනුමත කර නොමැති බවත් උපුල් කුමාර පැවසීය.
“ලේකම්වරුන් සමඟ අපේ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළා. නමුත් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කිරීමට තවදුරටත් අපි සූදානම් නැහැ. අපේ සංගමය ඊයේ සිට සහන සේවාවලින් ඉවත් වුණා” සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් කුමාර පවසයි.

දිට්වාට මාස තුනයි: පවුල් 1075ක් තවමත් සුභසාධන කඳවුරුවල
මේ අතර දිට්වා සුළි කුණාටුවට අද (28) මාස තුනක් සපිරේ. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (28) දින නිකුත් කළ තත්ත්ව වාර්තාව අනුව අද දිනය වන විට දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ පවුල් 64,901ක පුද්ලගයින් 222044ක් සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් වලින් පුද්ගලයින් 680 දෙනකු මරණයට පත්ව ඇති අතර අද දක්වා පුද්ගලයින් 154 දෙනකු අතුරුදන්ව සිටී.
2026 පෙබරවාරී 28 වන දින විට සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 5933ක් වන අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 115,501කි.
අද (28) දින වන විටත් ආරක්ෂිත නිවාස 32ක පවුල් 1075ක් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) දින නිකුත් කළ තත්ත්ව වාර්තාවේ සඳහන් වේ.
අදාළ වාර්තාව පහත දැක්වේ.














