- 2017 පෙබරවාරි 22 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලේ
- 2021 – 2023 වර්ෂයේ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධනයට අදාළ කරුණු පිළිබඳව සලකා බැලේ
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර මෙහිදී 2017 පෙබරවාරි 22 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් විමසා බැලීම සිදු කෙරිණි. එසේම 2021 – 2023 වර්ෂවල විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්ය සාධනය සලකා බැලීමද සිදු විය.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ 2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් 2026.04.07 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී දූෂණ, වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පිළිබඳ අවධානය යොමු වූ අතර 2025 දෙසැම්බර් 31 දින වන විට අවසන් නොවූ මූලික විමර්ශන ප්‍රමාණය 1538 පමණ වන බව කාරක සභාව විසින් අවධාරණය කරන ලදි. මේවායෙන් මූල්‍ය වංචා 40 කට අදාළව රු. 69,999,317ක වටිනාකමැති විමර්ශන අවසන් කර නොතිබුණු බවත් මෙම විමර්ශන 2007 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාල පරාසයක් පැවති ඒවා බවත් මෙහිදී අනාවරණය විය. මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ විමර්ශන නිලධාරීන්ගේ හිඟයක් පවතින බවත් මේ නිසා විමර්ශන ප්‍රමාදවී ඇති බවත්ය. එසේ ප්‍රමාද වුවද 2016 දෙසැම්බර් වන විට පැවති විමර්ශන සංඛ්‍යාව 2711 ක් බවත් මේ වන විට එය 1538 දක්වා අඩු වී ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම ඇතැම් විමර්ශන සම්බන්ධයෙන් අධිකරණ කටයුතු පවතින බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ. මේ අනුව මේ සම්බන්ධව වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.
තවද තැපැල් මූලස්ථානයේ සහ දිසා ගිණුම් කාර්යාල 14ක සේවක පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා සවිකරන ලද ඇඟිලි සළකුණු යන්ත්‍රවල, කාර්යාලයෙන් පිටවීම 16.15 ලෙස සටහන්වී තිබුණද අදාළ සේවකයන්ගේ පිටවීම රාත්‍රී 7,8,9,10 යනාදී ලෙස ලේඛනයක ඇතුළත් කර තැපැල් මූලස්ථානයේ සේවකයන් 2023 වර්ෂයේ රු. 57919684 ක්ද, 2024 ජනවාරි සිට මැයි දක්වා රු. 7024144ක්ද, දිසා ගිණුම් කාර්යාල 14ක සේවකයින්ට 2024 ජනවාරි සිට ජුනි දක්වා රු. 373874705ක්ද සාවද්‍ය ලෙස අතිකාල දීමනා ගෙවා ඇති බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදි.
මෙහිදි නිලධාරීන් පෙන්වා දුන්නේ සේවක පුරප්පාඩු සංඛ්‍යාව 4000/5000 ක් පවතින බවත් මේ නිසා නිලධාරීන් අතිකාල සේවයේ යෙදීමට සිදුව ඇති බවත්ය. ඒ නිසා මෙම ගෙවීම් සාවද්‍ය ගෙවීම් නොවන බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ අතිකාල ගෙවීම සඳහා වෙන් කරන මුදල්වලින් යම් සේවකයින් ප්‍රමාණයක් බඳවාගෙන වැටුප් ගෙවීම සිදු කළ හැකි බවයි. මේ නිසා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් පෙන්වා දෙන ලදි. තවද මේ සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.
එසේම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් පාරිභෝගිකයන්ට අළෙවි කිරීම සඳහා 2015 වර්ෂයේදී ප්‍රකාශන පිටපත් 500ක් මුද්‍රණය කිරීම සඳහා රු. 2697300ක්ද, සිහිවටන පත්‍රිකා රඳවන සඳහා රු. 1092656ක්ද වියදම් කර තිබුණද 2025 නොවැම්බර් කරන ලද විගණන පරීක්ෂාවේදී මෙම ප්‍රකාශන අපේක්ෂිත පරිදි නිර්මාණය වී නොතිබීම හේතුවෙන් අලෙවි නොකර මුද්දර කාර්යාංශයේ ගබඩා කර ඇති බව අනාවරණය විය. මේ අනුව මේ සම්බන්ධයෙන් ද වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.
මීට අමතරව 2024 වර්ෂය අවසාන වන විට මියගිය, විශ්‍රාම ගිය, වැඩ තහනම් කළ, සේවය හැරගිය හා වෙනත් නිලධාරීන්ගෙන් අයවිය යුතු ණය ශේෂය රු. 61225431 ක් වූ අතර එයින් වර්ෂ 5කට වැඩි කාලයක සිට පැවත එන ණය ශේෂය රු.20679788 ක් බව මෙහිදී අනාවරණය විය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මුදල් අයකරගැනීමට උපරිමයෙන් උත්සාහ කරමින් පවතින බවයි. එසේම එන්තරවාසි 17ක් යැවීමට කටයුතු කර ඇති බවද නිලධාරීහු පැවසූහ. මේ අනුව කාරක සභාවට ලබාදෙන වාර්තාවේ මීට අදාළ අයකරගැනීම් සිදු කරන ආකාරයද ඇතුළත් කරන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.
මාස 3ක් ඇතුළත ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නැවත කාරක සභාව හමුවට කැඳවීම සිදු කරන බව කාරක සභාව අවසන් කරමින් කාරක සභාවේ සභාපතිවරයා පැවසීය.
මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ, දිනිඳු සමන් හෙන්නායක, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) එම්. එල්. එ්. එම්. හිස්බුල්ලා, චානක මාදුගොඩ, ජේ.සී. අලවතුවල, ඔෂානි උමංගා, මංජුල සුරවීර ආරච්චි, (නීතීඥ) තුෂාරි ජයසිංහ, (නීතීඥ) සාගරිකා අතාවුද, රුවන් තිලක ජයකොඩි, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.














