ජාතික ආරක්ෂාව තහවුරු කරන්න මේ ආණ්ඩුවට දැනුමක් නැහැ – පාලිත රංගේ බණ්ඩාර – හිටපු රාජ්‍ය අමාත්‍ය

අද ලංකාවේ පවතින්නේ අසාමාන්‍ය තත්ත්වයක්. දවසින් දවස අපරාධමය තත්ත්වය වර්ධනය වනවා මිස මර්දනය වීමක් අපි දකින්නේ නැහැ. අපරාධයක් සිද්ධ වුණ වහාම එකී අපරාධයට සම්බන්ධ තොරතුරු, එය සිදුවුණ අනුපිළිවෙළ අනාවරණය කර ගන්නවා. නමුත් අපරාධ මර්දනය වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ තත්ත්වය තුළ දිනෙන් දින ජනතාවගේ ආරක්ෂාව අනතුරේ හෙළන අතර ජාතික ආරක්ෂාව සහ මහජන සාමය බරපතළ බිඳ වැටීමකට ලක්වෙනවා. ඒ වගේම අපරාධ මර්දනයක් සිදුකරනවා වෙනුවට අපරාධයක් සිදු වුණ පසු තොරතුරු සොයා ගැනීමක් පමණයි සිදුවෙන්නේ. මේ තත්ත්වය තුළ රටේ නීතියේ ආධිපත්‍ය පැහැදිලි අභියෝගයකට, බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. මේ සියලු සිද්ධි දාමය පොදුවේ මහජන සාමය සහ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා තිබෙනවා. මේක ජනතාව කිසිසේත් අපේක්ෂා කළ තත්ත්වයක් නොවෙයි. ඔවුන් බලාපොරොත්තු වුණා රට තුළ අපරාධ අඩු වෙලා සාමකාමී වාතාවරණයක් නිර්මාණය කිරීමට අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව පියවර ගනී කියලා. නමුත් ඔවුන් දුන්න බොහෝ පොරොන්දු වාගේ ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අපරාධ මර්දනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව බරපතළ ලෙස අසමත්ව තිබෙනවා.

ඔව් ආණ්ඩුව මේ කතාව නැවත නැවත කියනවා. ආණ්ඩුවට අනුව මේ ඝාතන හුදකලා සිදුවීම් හෝ පාතාල ගැටුම්. මහජන ආරක්ෂක අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා වගේම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයත් කියන්නේ එකම කතාව. ඔවුන් තිදෙනා ද ඇතුළුව සමස්ත ආණ්ඩුවට මේ ඝාතන හුදකලා සිදුවීම් වෙන්න පුළුවන්. ඒත් කිසිම අපරාධයක්, ඝාතනයක් සාමුහික සිද්ධියක් වෙන්නේ නැහැනේ. අපරාධකරුවගේ ඉලක්කය තනි පුද්ගලයෙක් හෝ තනි කණ්ඩායමක්. ඒ ඉලක්කය මත තමයි ඔවුන් අපරාධය මෙහෙයවන්නේ. ඒ අපරාධය සිදුකරන විට ඔහු ඉලක්කය ගන්නේ ඔහුට රැකවරණය ලබා ගන්න පුළුවන් නම් විතරයි, අපරාධය කරලා ආරක්ෂිතව පළා යාමට පුළුවන් ආකාරයට තමයි ඕනෑම අපරාධයක් සැලසුම් කරන්නේ. ඒ නිසා තමයි අපරාධය සැලසුම් කළ, අපරාධයට අනුබල දුන් සහ අපරාධය කළ පුද්ගලයින් හෝ කණ්ඩායම ඉතාම පහසුවෙන් ලංකාවෙන් පළා යන්නේ, විදේශගත වෙන්නේ. මේ තත්ත්වය තුළ ‘මේක හුදකලා අපරාධයක්, මේකෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ’ කියලා පස්සට යන්න කිසිම බලධාරියෙකුට අයිතියක් හෝ හැකියාවක් නැහැ.  මම යළිත් අවධාරණය කරනවා යම්කිසි අපරාධයක් තනි තනි සිදුවීම් ලෙස සිදු වුණාට ඒක සමස්තයක් ලෙස ගත් විට රටේ මහජන සාමයට සහ ජාතික ආරක්ෂාව තර්ජනයක්. ඒ වගේම නීතියේ ආධිපත්‍යයට අභියෝග කිරීමක් වගේම නීතියේ ආධිපත්‍ය දුර්වල කිරීමක්. ඒ නිසා මේ සිදුවීම්වල සැබෑ තත්ත්වය පිළිගන්න බලධාරීන් නිහතමානී විය යුතුයි.

කිසිම අපරාධකාරයෙක් අපරාධයක් කරන්නේ නැහැ තමන්ගේ බෙල්ලට තොණ්ඩුව වැටෙන්න ඉඩ දීලා. අහුවෙන්න ඔවුන් අපරාධ කරන්නේ නැහැ. ඕනෑම අපරාධයක් සැලසුම් කරන්නේ තමන්ගේ ආරක්ෂාව ගැන සහතිකයක් එක්ක. මේක ආරක්ෂක අංශ වගේම ආණ්ඩුව පවා දන්නවා. අපරාධකරුවන්ට විවිධාකාරයෙන් සහාය සහ රැකවරණය ලැබෙනවා. ඒ ගැන තියෙන විශ්වාසය නිසාම තමයි ඕනෑම අපරාධයක් කරන්න දෙපාරක් නොහිතන්නේ. අධිකරණය, අධි ආරක්ෂක කලාපය වැනි ඕනෑම තැනක අපරාධයක් කරන්නේ. මේ නිසා තමයි අපරාධයක් හුදකලා සිදුවීමක් නොවන්නේ. මේක සංකීර්ණ හා පුළුල් ජාලයක් හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මෙවැනි අපරාධ, ඝාතන කිසිම ආකාරයෙන් සුළුකොට නොසැලකිය යුතුයි. රට තුළ සිදුවන ඕනෑම අපරාධයක් ජාතික ආරක්ෂාවට වගේම මහජන සාමයට තර්ජනයක්, නීතියේ ආධිපත්‍යට අභියෝග කිරීමක් ලෙස සැලකිය යුතුයි.

ආරක්ෂාව සැලසිය යුත්තේ කෙසේ ද ? යන්න පිළිබඳ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම මේ වන විට ආණ්ඩුව හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා, ආණ්ඩුව ඒක පාවිච්චි කරනවා. ඒ අනුව ආරක්ෂක හමුදාව අපරාධ මර්දනය වෙනුවෙන් කැඳවීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනපතිවරයාට බලය තිබෙනවා. ඒ වගේම අපරාධ මර්දනය කිරීමේ දී තොරතුරු, ඔත්තු ලබා ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම ආරක්ෂක අංශවල අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ද දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ඒකට හේතුව තමයි, බොහෝ අවස්ථාවල දී අපරාධකරුවා ආරක්ෂක අංශවල සක්‍රීය රාජකාරියේ නිතර වෙලා ඉන්න පුද්ගලයෙක්. ඔහු රාජකාරියේ නිරතව සිටිමින් අපරාධ, ඝාතන සිදුකරලා යළි රාජකාරියට යනවා. මේක බිහිසුණු වගේම බරපතළ තත්ත්වයක්, වහාම මුලිනුපුටා දැමිය යුතු තත්ත්වයක්. ඒ වගේම හමුවෙන් පළා ගිය සහ නීත්‍යානුකූලව ඉවත් වූ පුද්ගලයින් ද අපරාධවලට බහුලව සම්බන්ධව සිටින බව රහසක් නෙමෙයි. මේ තත්ත්වය තුළ ආරක්ෂක අංශ සාමාජිකයින් සම්බන්ධයෙන් නිරන්තර සුපරීක්ෂණයක් සිදුවිය යුතුයි. එය ඉතාම වැදගත්. මම හිතන ආකාරයට මේක ආරක්ෂක අංශ විසින්ම ඉටුකළ යුතු රාජකාරියක්, බුද්ධි අංශවල වගකීමක්. මේ ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණොත් ආරක්ෂක අංශවල සාමාජිකයින් විසින් සිදුකරන ඝාතනය සම්පූර්ණයෙන්ම වාගේ පාලනය කරන්න පුළුවන්.

ඔව්, මීට කාලයකට පෙර පොලිසියේ මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. නමුත් මේ වන විට ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පොලිසියෙන් ඉවත් වූ හෝ විශ්‍රාම ගිය පුද්ගලයින්ගේ ලේඛනයක් අදාළ පොලිස් වසමේ ස්ථානාධිපතිවරයා සතුව තිබෙනවා. ඒ අනුව විශ්‍රාම ගිය හෝ සේවයෙන් ඉවත් වූ නිලධාරියාව ‘බැහැදැකීම’ කියලා හඳුන්වන ක්‍රමයකට අනුව අඛණ්ඩ නිරීක්ෂණයකට ලක්කරනවා. ඒ අනුව යම්කිසි කාලයකට වරක් පොලිස් නිලධාරීන් විශ්‍රාම ගිය හෝ සේවයෙන් ඉවත් වුණ පොලිස් නිලධාරීන් බැහැදැකීමට යනවා. ඒ හරහා අදාළ නිලධාරියා ගැන අවශ්‍ය තොරතුරු පහසුවෙන් රැස් කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම විශ්‍රම ගිය හෝ සේවයෙන් ඉවත් වුණ පොලිස් නිලධාරීන් සමඟ පොලිසිය අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගෙන යනවා. ඒ හරහා අදාළ නිලධාරියාට යම්කිසි අනීතික ක්‍රියාවක් කිරීමට ඇති අවස්ථාව පාලනය වෙනවා. නමුත් වර්තමානයේ මේ ආකාරයේ ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ හිඩැසක් නිර්මාණය වෙලා තියෙනවා.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට වගේම ඔහුගේ ආණ්ඩුවට අත්දැකීම් ඉතාම සීමිතයි. ඒ වගේම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට මේ සියල්ල කරන්න, නායකත්වය දෙන්න හැකියාවක් නැහැ. මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වන විට සිය අසමත්භාවය ඔප්පු කරලා තිබෙනවා. සරලව කිව්වොත් ‘ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් විට ආණ්ඩුව ෆේල්’ වෙලා ඉවරයි. මේ අසමත්භාවය ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් නොවෙයි, වත්මන් ආණ්ඩුවේ සමස්ත ආණ්ඩුකරණය තුළ පහසුවෙන් දැක ගන්න පුළුවන් තත්ත්වයක්. සමස්ත ආණ්ඩුවම අසමත් වෙද්දී ජාතික ආරක්ෂාව කියන විෂයෙන් සමත් වෙන්න ආණ්ඩුවට කිසිම හැකියාවක් නැහැ. ඔවුන්ගේ නොහැකියාව, අත්දැකීම් රහිත බව, දැක්මක් නොමැකිකම මේ අර්බුදය තව තවත් තීව්‍රර කරනවා. අනෙක් කාරණය තමයි මේක ‘රැල්ලට ආපු ආණ්ඩුවක්’. මේ අනපේක්ෂිත රැල්ලට ගසා ගෙන ආව, නායකත්වය දෙන පිරිස දැන් ක්ෂණික විසඳුම් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක කරන්න තරම් ඔවුන්ට ධාරිතාවක් නැහැ. අනෙක් කාරණය තමයි දුර්වල සම්බන්ධීකරණය. මේ ආණ්ඩුවේ ආචාර්ය, මහාචාර්යවරුන්ට, වෛද්‍යවරුන්ට, නීතිඥයින්ට කිසිම ආකාරයක ප්‍රායෝගික දැනුමක් සහ අත්දැකීමක් නැහැ. දේශපාලනඥයින්ට, ආණ්ඩුවකට පොතට අනුව රට පාලනය කරන්න පුළුවන්කමක් නැහැ, ආණ්ඩුවක්, පාලකයින් භූමියේ යථාර්ථයට අනුගත වෙන්න ඕනෑ, ඒකට සංවේදී විය යුතුයි. මේ බව සනාථ කරන ප්‍රකට උදාහරණය තමයි මේ ආණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා. ඔහු What is national security? කියලා කළ ප්‍රකාශය අදත් හාස්‍යයට ලක් වෙනවා. ඔහු  ඉතාම උද්දච්ච ස්වරයෙන් ඒක කිව්වේ. ‘ජාතික ආරක්ෂාව ගැන උපදෙස් අවශ්‍ය නම් බංකුවක් අරන් එන්න’ කියලා ඔහු කිව්වා. ඔහුට ආරක්ෂක හමුදාවක රාජකාරී කරලා පළපුරුද්ද තිබුණට, භූමියේ යථාර්ථය ගැන කිසිම අවබෝධයක් නැහැ. බැටලියන් එකක් මෙහෙයවන්න, යුද්ධයක් කරන්න ඔහුට පුළුවන්කම තිබුණට මහජනතාව එක්ක කටයුතු කිරීම ඉතාම සංකීර්ණ කාරණයක්. මහජනතාවට පීඩාවක් නොවන ආකාරයට අපරාධ මර්දනය කළ යුතුයි. නමුත් ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවේ ආරක්ෂාව භාරව සිටින කිසිම අමාත්‍යවරයෙකුට මේ ගැන ප්‍රායෝගික අවබෝධයක් තිබෙන බවක් අපට පේන්න නැහැ.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website