6 ශ්‍රේණිය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසූ නව ඇගයීම් ක්‍රියාවලියක් හඳුන්වා දීමට පියවර

6 ශ්‍රේණිය සඳහා හඳුන්වාදීමට නියමිත මොඩියුල පාදක අධ්‍යාපන ක්‍රමය යටතේ, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසූ නව ඇගයීම් ක්‍රියාවලියක් හඳුන්වා දීමට පියවර ගන්නා බව අග්‍රමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

පන්ති කාමරය තුළ සිදු කෙරෙන සිසු ක්‍රියාකාරකම් ගුණාත්මකව ඇගයීමට ලක් කිරීම සඳහා ගුරුවරුන්ට අවශ්‍ය විධිමත් මාර්ගෝපදේශයක් ලබා දිය යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහි දී ප්‍රකාශ කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දීමට නියමිත ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ කමිටුවේ සභාපති, මහාචාර්ය ලූක් විලියම් හාඩින් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර විශේෂ සාකච්ඡාවක් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ඇගයීම් සහ තක්සේරුකරණය මෙන් ම භාෂා පර්යේෂණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රමුඛ විද්වතෙකු වන මහාචාර්ය හාඩින් 2026 මාර්තු 20 වන දින සිට මාර්තු 25 වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින්, යෝජිත නව ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රියාවලිය වෙනුවෙන් තීරණාත්මක හමුවීම් මාලාවකට එක්වීමට නියමිතය.

ඒ අනුව ඔහු ඩිජිටල් කාර්ය සාධක බලකායේ සාමාජිකයින්, ඇගයීම් සහ තක්සේරුකරණ කමිටුව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යයන උපදේශක මණ්ඩලය මෙන්ම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ (NEC) සාමාජිකයින් සමඟ ද ප්‍රතිපත්තිමය සාකච්ඡා සහ වැඩමුළු පවත්වනු ලබයි. මීට අමතරව ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය අරමුණු කරගනිමින් ගුරුවරුන් සඳහා වන විශේෂ සාකච්ඡාවකට ද සහභාගී වීමට නියමිත ය.

මේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළේ 6 ශ්‍රේණිය සඳහා හඳුන්වාදීමට නියමිත මොඩියුල පාදක අධ්‍යාපන ක්‍රමය යටතේ, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසූ නව ඇගයීම් ක්‍රියාවලියක් හඳුන්වා දීමට පියවර ගන්නා බවයි. පන්ති කාමරය තුළ සිදු කෙරෙන සිසු ක්‍රියාකාරකම් ගුණාත්මකව ඇගයීමට ලක් කිරීම සඳහා ගුරුවරුන්ට අවශ්‍ය විධිමත් මාර්ගෝපදේශයක් ලබා දිය යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහි දී ප්‍රකාශ කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි වඩාත්ම තීරණාත්මක කොටස වන්නේ ඇගයීම් ක්‍රියාවලිය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ගුරුවරයා මෙන්ම සිසුවා ද අනවශ්‍ය පීඩනයකට ලක් නොවන පරිදි සිසුන්ගේ සහජ දක්ෂතා හඳුනා ගනිමින් ඔවුන්ගේ අධ්‍යාපන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට මෙම නව ක්‍රමවේදය මහෝපකාරී වන බව ද සඳහන් කළාය.

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇගයීම් කමිටුවේ නිලධාරීන් ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website