ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය: අපි සුබදායී දෙය අපේක්ෂා කරනවා – නරකම දේට සූදානම් වෙනවා  – ජනපති

යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින් සාමය වෙනුවෙන් කැප වනු ඇතැ’යි ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

මෙම තත්ත්වය ලෝක ආර්ථිකයටත්, ජන ජීවිතයේ පැවැත්මටත් ඉතා අහිතකර ලෙස බලපෑ හැකි තත්ත්වයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයක් ලෙස සුබදායී දෙය අපේක්ෂා කරන අතරම – නරකම දෙයට සූදානම් වන බවද ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (03) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මෙවන් අර්බුද සඳහා දිගුකාලීනව මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස් කරන අතරම ජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් අර්බුදයට මුහුණදීම සඳහා අවශ්‍ය කෙටිකාලීන විසඳුම් රජය සකස් කරමින් තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පවතින ඉන්ධන ගබඩා පහසුකම්වලට අනුරූප වන පරිදි ඉතා හොඳ ඉන්ධන කළමනාකරණයක රජය කටයුතු කරමින් සිටි බවත්, බලශක්ති ක්ෂේත්‍රය සහ ඉන්ධන සැපයුම පිළිබඳ රජයට සැලැස්මක් තිබෙන බවත් මෙහිදී පැවසූ ජනාධිපතිවරයා  1979න් පසු ගෙවුණු වසර 47 පුරා කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ තෙල් පිරිපහදුවේ ධාරිතාව 100%කින් ඉහළ නැංවීමේ වැඩකටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව සඳහන් කළේය.

කොළොන්නාවේ අලුතින් මෙට්ට්‍රික් ටොන් 86,000ක ගබඩා සංකීර්ණයක් ඉදි කිරීම, මුතුරාජවෙල ඉදි කෙරෙන නව ගබඩා සංකීර්ණයේ ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 40,000ක් දක්වා ඉහළ නැංවීම, පළමු අදියර යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි 04ක් ප්‍රතිසංස්කරණය සහ ඒ හා සමානව මුහුදේ සිට නළ පද්ධතියක් එළීම, කොළොන්නාවේ සිට වරාය දක්වා දිවෙන වසර 90ක් පැරණි නළ මාර්ගය වෙනුවට අඟල් 14 සහ අඟල් 18 නළ මාර්ග දෙකක් එළීම, කොළොන්නාවේ සිට කැලණිතිස්ස දක්වා දිවෙන වසර 90ක් පැරණි නැප්තා නළ පද්ධතිය ප්‍රතිසංස්කරණය ඇතුළුව බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය ආසන්න වශයෙන් බිලියන 30කට අධික මුදල් ප්‍රමාණයක් වැය කිරීමට සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, ගෑස් සම්බන්ධව මතුව ඇති ගැටලුවටද කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

එසේම මතුව ඇති තත්ත්වය හමුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දීමට සිදුවන ගැටලු, සංචාරක, අපනයන, නාවුක සහ ගුවන්සේවා ක්ෂේත්‍රවලට එල්ල විය හැකි බලපෑම හමුවේ මතු වන අභියෝගවලට මුහුණදීම සඳහා රජය සකස් කර තිබෙන සැලසුම් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website