ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ගොඩනැගීමට අප කළ යුතු දේ අග්‍රාමාත්‍යවරිය කියයි

කුසලතා පූර්ණ, සදාචාරාත්මක සහ ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ගොඩනැගීම, ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන රාමුව ශක්තිමත් කිරීම සහ එය ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල ව සැකසීම තුළින් සිදු කළ  හැකි බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඊයේ (18)  කොළඹ Cinnamon Life හෝටලයේ පැවති  ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද, ජාත්‍යන්තර QS ප්‍රතීතනය ලත් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් සුදුසුකම (CQHRM – SCQF 11 මට්ටම) නිල වශයෙන් දියත් කිරීමේ උත්සවයට  ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ ඉහත කරුණු අවධාරණය කළාය.

වෘත්තියමය හා වෘත්තීය අධ්‍යාපන මාර්ග පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, “අපගේ අධ්‍යාපනික ගමන් මාර්ග සහ අවස්ථා පුළුල් කිරීමේදී මෙම අවස්ථාව ඉතාමත් වැදගත්කමක් උසුලනවා. ගෝලීය වශයෙන් පිළිගත් සහ වෘත්තියමය හා වෘත්තීය ක්ෂේත්‍ර සඳහා අවස්ථා සලසන අධ්‍යාපනික ප්‍රවේශයක් නිර්මාණය කිරීමට අපට අවශ්‍යයි.  මෙම නිල දියත් කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අප විසින් ආරම්භ කරලා තිබෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට වගේම අධ්‍යාපනය නිශ්චිත වයස් කාණ්ඩයකට සීමා නොවී ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලබා ගන්නා අතරතුර වෘත්තියක නිරත වීම සඳහා අවස්ථාව ලබා දීමට අප දරන උත්සාහය සමඟ සමපාත වනවා”.

ශ්‍රී ලංකාවේ ජාතික ඉලක්ක ඉස්මතු කරමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය.

“ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ආයතනික ප්‍රතිසංස්කරණ සහ තිරසාර වර්ධනයක් කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති අවස්ථාවක, දක්ෂ හා සදාචාරාත්මක මානව සම්පත් කළමනාකරණ නායකත්වයක අවශ්‍යතාවය ඉතාමත් පැහැදිලියි. තරඟකාරී ආර්ථිකයක් රදා පවතින්නේ ආයෝජන සහ යටිතල පහසුකම් මත පමණක් නොවේ, ආයතන ඵලදායී ලෙස මෙහෙයවිය හැකි දක්ෂ වෘත්තිකයින් මතයි. මෙම SCQF level 11 මානව සම්පත් කළමනාකරණය පිළිබඳ QS-accredited Chartered සුදුසුකම වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර පිළිගැනීම ශක්තිමත් කරනවා වගේම, වෘත්තීය ප්‍රගතිය වැඩි දියුණු කරනවා”.

රටේ වෘත්තීය අධ්‍යාපන ක්‍රමය කෙරෙහි විශ්වාසය ශක්තිමත් කරන බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත්  සඳහන් කළා ය. සාධාරණ බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටි, ආරක්ෂිත වැඩ පරිසරයන්, කාන්තාවන් සඳහා නායකත්ව සංවර්ධනය කිරීම සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා ප්‍රතිපත්ති සැකසීම ඇතුළුව සේවා ස්ථාන තුළ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාමේදී මානව සම්පත් කළමනාකරණ අංශයේ කාර්යභාරය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා ය.

රැකියා ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, කර්මාන්ත සහ ශ්‍රම බලකාය කළමනාකරණය කෙරෙහි කෘතිම බුද්ධියේ බලපෑම ඇතුළුව, නැගී එන ඉල්ලීම්වලට අනුවර්තනය වීමට ආයතන දිරිමත් කිරීම, වේගවත් තාක්ෂණික පරිවර්තනයක් සඳහා සූදානම් වීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය තව දුරටත් අවධාරණය කළා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website