ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍ර මෙතැනින් කොතැනටද ?

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

හෝමුස් සමුද්‍ර සන්ධිය Strait of Hormuz මුල්කරගෙන දැන් ඉස්මතු වෙමින් පවතින්නේ හුදු කලාපීය ආරක්ෂක අර්බුදයක් පමණක්ම නොවේ. එය ඛනිජ තෙල් නිධි අත්පත් කර ගැනීම, බෙදාහැරීම සහ ගෝලීය බලශක්ති වෙළඳපොළ නියාමනය ඇතුළු සමස්ත ක්‍රියාවලිය ම කලාපයෙන් පිටත තනි රාජ්‍යයක අභිමතයට නතුවන පරිදි හැසිරවීමට ගනු ලබන සූක්ෂම භූ-දේශපාලනික මෙහෙයුමක් බව නොරහසකි. මෙවැනි වාතාවරණයක් තුළ තවදුරටත් ගෝලීය ආර්ථිකය සලිත වෙමින් තිබේ. දිනකට බොරතෙල් සහ තෙල් නිෂ්පාදන බැරල් මිලියන 20 ක් (නාවුක මාර්ග ඔස්සේ සිදුකරන ගෝලීය තෙල් වෙළඳාමෙන් 25% ක් පමණ) ප්‍රවාහනය කරන මෙම පටු මුහුදු මාර්ගය අධි අවදානම් කලාපයක් බවට පත්වීම එහි උච්චතම අවස්ථාවයි.

පසුගිය සතිය තුළ හෝමුස් සමුද්‍ර සන්ධි ඔස්සේ  ප්‍රවාහනය කරන ලද තෙල් බැරල් ප්‍රමාණය මිලියන 12 තෙක් පහත බැසීම මෙම ගැටුම්කාරී තත්ත්වයේ තීව්‍ර ස්වරූපය විදහා පායි. මෙම ගැටලුකාරී තත්ත්වය ගෝලීය ගෑස් වෙළඳාමට ද සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. ඒ අනුව කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් සපයන ස්වභාවික ද්‍රව වායු Liquefied Natural Gas (LNG) අපනයනය 20% කින් පමණ අඩාල වී ඇත. විවෘත වෙළඳපොලේ ඉන්ධන හා ගෑස් ඉහළ මිල යාම, නැව්ගත කිරීම් ප්‍රමාදවීම , ඉන්ධන ප්‍රවාහන නෞකා වෙත ප්‍රහාර එල්ලවීම සහ රක්ෂණ ගාස්තු ඉහළ දැමීම සමග ලොව පුරා ම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම එහි අනිටු ප්‍රතිඵල ලෙස විද්‍යාමාන වේ. එමෙන් ම ගල්ෆ් කලාපයේ රටවල ඛණිජ තෙල් හා ස්වාභාවික වායු පර්යන්ත වෙත එල්ලවී ඇති විනාශකාරී ප්‍රහාර හේතුවෙන් එම සැපයුම් යථාවත්කර ගැනීමට ඉදිරි වසර පහක කාලය තුළ පවා නොහැකි වනු ඇති බව විශේෂඥ මතයයි.

එහි සිදුවන යුධමය බාධා කිරීම් ගල්ෆ් කලාපයෙන් ඔබ්බට දෝංකාර දෙන ආකාරය දැන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපට අසන්නට හා දකින්නට ලැබේ. ෆොසිල ඉන්ධන සැපයුම් මාර්ග පදනම් වූ ආර්ථික පද්ධති මත ඇතිකරවන පීඩනයේ ස්වරූපය ඉන් වඩාත් පිළිබිඹු කෙරේ. මෙම සමුද්‍ර මාර්ගයේ සිදුවන ඕනෑම බාධාවක් සෘජුවම ඉන්ධන මිල ඉහළ යාම කෙරෙහි බලපැවැත් වේ. එය ආසියානු කලාපයේ මෙන්ම යුරෝපයේ සහ පැසිපික් කලාපයේ ආර්ථික කටයුතු කෙරෙහි ද බලාත්මක වේ.  විශේෂයෙන්ම ආනයනික ඛනිජ තෙල් මත දැඩි ලෙස යැපෙන රටවලට මෙය වඩාත් දැඩි ලෙස බලපායි. එම නොසන්සුන්තාවන් තීව්‍ර වෙද්දී ෆොසිල ඉන්ධන මත යැපෙන ප්‍රවාහන පද්ධතිවල කඩා වැටීම නැවත වරක් ඉස්මතුවෙමින් පවතියි. මෙම සන්දර්භය තුළ, තිරසාර ප්‍රවාහනය සේවාවන් සඳහා වූ ක්‍රමෝපායක් ලෙස විද්‍යුත් වාහන Electric Vehicles (EVs) භාවිත කිරීම වඩා වාසිදායක හා ඵලදායී බව පැහැදිලි වේ.  

ඒ අනුව විද්‍යුත් ප්‍රවාහන මාදිලි දෙසට සිදුවන මෙම ගෝලීය සංක්‍රාන්තිය පෙර නොවූ විරූ වේගයකින් දැන් දැකගත හැකි වේ. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට International Energy Agency (IEA) අනුව, 2024 වසරේදී ගෝලීය විද්‍යුත් වාහන අලෙවිය ඒකක මිලියන 17 ඉක්මවා ගිය අතර එය ලොව පුරා සිදුවන මුළු මෝටර් රථ අලෙවියෙන් පහෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකි. මෙම ශීඝ්‍ර අනුගතවීම හුදෙක් සංකේතාත්මක එකක් නොවේ. එය සක්‍රීයව තෙල් පරිභෝජනය අඩු කරවන්නකි. විද්‍යුත් වාහන මගින් 2024 වසරේදී දිනකට තෙල් බැරල් මිලියන 1.3 ක් පමණ ප්‍රතිස්ථාපනය කරන ලද අතර, 2030 වන විට මෙම ප්‍රමාණය දිනකට බැරල් මිලියන 5 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. The Japantimes පුවත් පතට අනුව මේ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඇල්බට් පාර්ක් තෙල් මිල ඉහළයන සෑම අවස්ථාවක ම විදුලි වාහන වෙත මාරුවීමට ගැනුම්කරුවන් පෙළඹේ. එය හරිත සංක්‍රාන්තිය වේගවත් කිරීම සඳහා ආර්ථික දිරිගැන්වීම් නිර්මාණය කරයි. යනුවෙන් අදහස් පළ කරයි.

මෙවන් වාතාවරණයක් යටතේ, අග්නිදිග ආසියාවේ විශාලතම මෝටර් රථ වෙළඳපොළ සහ මෝටර් රථ නිෂ්පාදකයා වන ඉන්දුනීසියාව 2025 දී එරට තුළ අලෙවි කරන ලද මෝටර් රථ ඒකක 800,000 ප්‍රමාණයෙන් සියයට 15 ක් විද්‍යුත් රථවාහන බව ඉන්දුනීසියානු මෝටර් රථ කර්මාන්ත සංගමය පවසයි. අපේ කලාපයෙන් බොහෝ ඈත පිහිටි කැනඩාවේ අග්‍රාමාත්‍ය කාර්යාලයීය වෙබ් අඩවියට අනුව නව කැනඩා – චීන හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමෙන් පසුව 6.1% ක ජාතික තීරුබදු අනුපාතයක් යටතේ ඒකක 49000 ක් දක්වා තම වෙළඳපොළට සැපයීමට කැනේඩියානු රජය චීන විදුලි වාහන නිෂ්පාදකයිනට ඉඩ ප්‍රස්ථාව සලසා දී තිබේ.

මේ අතර 2025 දී ඉන්දියාවේ විදුලි රථවාහන අලෙවිය ඒකක මිලියන 2.3 ට ළඟා වූ අතර, එය සියලු ම නව වාහන ලියාපදිංචි කිරීම්වලින් 8% ක් වන බව, ඉන්දීය බලශක්ති ගබඩාකිරීමේ සන්ධානය India Energy Storage Alliance (IESA) විසින් සකස් කරන ලද ඉන්දියාවේ විදුලි වාහන වෙළඳපොළ 2025 නැමති වාර්ෂික වාර්තාවෙහි දැක් වේ. 2024 දී වඩාත් ම විද්‍යුත්කරණයට නතු වූ මගී ප්‍රවාහන කාණ්ඩයට යතුරු පැදි සහ ත්‍රිරෝද රථ අයත් වූ අතර  එම වසරේ දී ගෝලීය විකුණුම් වලින් 80% ක් පමණ චීනය, ඉන්දියාව සහ අග්නිදිග ආසියාව තුළ පුද්ගලික මගී ප්‍රවාහනයේ ප්‍රාථමික අංශය නියෝජනය කරන බව The International Energy Agency (IEA)  වාර්තා කරයි.

මේ අතර බස් රථවලින් සිදුවන පරිසර දූෂණය බැහැරකරලීමේ අරමුණ පෙරදැරිව 2030 වනවිට මුළුමනින්ම විදුලි බස් රථ වෙත ක්‍රමයෙන් මාරුවීමට බහුතරයක් රටවල් දැනටමත් ක්‍රියාත්මකවී සිටින බව වාර්ථා වේ. එමඟින් වාතයේ ගුණාත්මකභාවය විශාල ලෙස ඉහළ නැංවිය හැකි අතර ප්‍රවාහන අංශයෙන් සිදුවන කාබන් විමෝචනය අවම කිරීමට ද ඒවා මහෝපකාරී වේ. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ගෝලීය වශයෙන් ගනු ලබන මෙම ක්‍රියාමාර්ගවල තීරණාත්මක ඉල්ලීම වන්නේ හැකි ඉක්මනින් විදුලි බස් රථ පුළුල් ව භාවිත කරන ලෙසයි. මක්නිසාදයත්, ප්‍රවාහන උදෙසා භාවිත කරන සියළුම ආකාරයේ බස් රථ සේවා ලෝකයේ කාබන් විමෝචනයෙන් 5% කට පමණ වගකියන හෙයිනි. ඒ බව ලෝක සම්පත් ආයතනය World Resource Institute (WRI) තම වාර්තා ඔස්සේ පෙන්වා දෙයි. එවැනි වාතාවරණයක් යටතේ චීනය, නෙදර්ලන්තය, ෆින්ලන්තය, ස්විට්සර්ලන්තය සහ ඩෙන්මාර්කය ඉදිරි වසර හයක හෝ ඊට අඩු කාලයකදී තම රටවල විද්‍යුත් බස් රථ භාවිතය 6% සිට 60% දක්වා ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටී. කෙසේ වෙතත්, මෙය ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට ඉතා කුඩා ප්‍රමාණයකි. ඉන්ධන දහනය මත මෝටර් රථලින් සිදුවන වායු දූෂණය වලකා ගැනීමේ ගෝලීය ඉලක්ක සපුරා ගැනීම සඳහා 2030 වන විට විද්‍යුත් බස් රථ අලෙවිය 56% කින් ඉහළ නංවා ගත යුතු බව පැවසේ. මෙම සංක්‍රාන්තිය හරිත අනාගතයක් කරා යොමුකරවන ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිරසාර බව අපට ගම්‍ය  කරවයි.

කෙසේ වුවද, 2024 වන විට ලොව පුරා විද්‍යුත් බස් රථ 780,000 ක් පමණ ධාවනය වූ අතර ඉන් 90% ක්ම ධාවනය වූයේ චීනය තුළ ය. මින් 94% ක්ම බැටරි මඟින් ක්‍රියාත්මක වන මෝස්තර වේ. මෙයට දශකයකට පෙර සිටම විද්‍යුත් බස් රථ භාවිතය ආරම්භ කළ චීනය, මේ වනවිට විදුලි බස් රථ නිෂ්පාදනය සහ භාවිතය යන දෙ අංශයෙන් ම ලොව ඉදිරියෙන් ම සිටී. වරක් ආරෝපණය කළ විට සැතපුම් 120 ක දුරක් නොකඩවා ධාවනය කළ හැකි වීම හා ඉහළ සුවපසුව නිසා මෙම බස් රථ සේවාවන් එරට වඩාත් සාර්ථකවී තිබේ.

මේ අතර යුරෝපීය රටවල් අතරින් නෙදර්ලන්තය විද්‍යුත් බස් රථ භාවිතයේ පෙරමුණ ගෙන සිටින අතර චීනයට පසු ලොව දෙවන ස්ථානය එරටට හිමි ව ඇත. දැනට නෙදර්ලන්තයේ විද්‍යුත් බස් රථ 2100 කට වඩා ධාවනය වන බව වාර්තා වේ. මෙයට සමගාමීව ආසියාවෙන් බැහැරවූ චිලී රාජ්‍යය විදුලි බස් රථ භාවිතය සම්බන්ධයෙන් වේගයෙන් ම ඉදිරියට යමින් සිටී. 2025 අප්‍රේල් වනවිට චිලී රාජ්‍යය සතුව විද්‍යුත් බස් රථ 2700 කට වඩා තිබූ අතර එය ලතින් ඇමරිකාවේ විශාලතම විද්‍යුත් බස් රථ සමූහයයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ 2035 වන විට මගී ප්‍රවාහනයට 100% ම විද්‍යුත් බස් රථ බවට පත්කිරීම ය. එමෙන් ම තම රටේ විදුලි බස් රථ ප්‍රවාහන සේවාවට විද්‍යුත් බස් රථ 10000 කට වඩා යොමුකරමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් ඉන්දියාව පෙරමුණ ගෙන සිටියි. ඊට තවත් බස් රථ 14000 ක් එකතු කිරිමට ඉන්දීය රජය  දැනටමත් අනුමැතිය ලබා දී ඇත.

මෙම සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන්නේ විද්‍යුත්කරණය ගෝලීය තෙල් ඉල්ලුමට මැනිය හැකි බලපෑමක් ඇති කිරීමට පටන් ගෙන ඇති බවයි. එමෙන්ම, භූ-දේශපාලනික නොසන්සුන්තාවන් හා සම්බන්ධ මෑතකාලීන ඉන්ධන මිල ඉහළ යාම, බොහෝ රටවල පාරිභෝගිකයින් විද්‍යුත් වාහන කෙරෙහි දක්වන උනන්දුව වැඩි කිරීමට හේතුකාරක වී ඇත. එනමුත් ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිව, විද්‍යුත් ප්‍රවාහන මාදිලි වෙත සංක්‍රමණය වීම අවශ්‍ය  පරිමාණයෙන් හෝ වේගයෙන් සිදු කළ නොහැක. විද්‍යුත් වාහන බහුලව භාවිත කිරීම සඳහා පුළුල් ආරෝපණ ජාල, විශ්වාසදායක විදුලි සැපයුමක් සහ විදුලිබල පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් ආයෝජනයක් කළ යුතුවේ. එමෙන්ම විද්‍යුත් වාහනවල පාරිසරික ප්‍රතිලාභ රඳා පවතින්නේ විදුලිය උත්පාදනය කරන ආකාරය මත හෙයින් විදුලි උත්පාදනය සඳහා තවමත් පොසිල ඉන්ධන හෝ ගල් අඟුරු භාවිත කරන මෙරට ඉන්ධන භාවිතයේ සිට විදුලිය භාවිතය දක්වා මාරුවීමෙන් විෂ වායු විමෝචනය සම්පූර්ණයෙන් ම ඉවත් නොවන අතර එය හුදෙක් වාහනවලින් විදුලි බලාගාර වෙත මාරුවීමක් පමණක් වනු ඇත.

කෙසේ වුවද බලශක්ති සුරක්ෂිතතාවයේ දෘෂ්ටිකෝණයෙන් බැලීමේදී, විද්‍යුත් වාහන නිසැකව ම සැලකිය යුතු වාසි ලබා දෙයි. ආනයනික තෙල් මත යැපීම අඩු කිරීමෙන්, සැපයුම් බාධා සහ මිල උච්චාවචනයන්ගේ බලපෑම අවම කර ගැනීමට ඒවා උපකාරී වේ. භූ-දේශපාලනික අස්ථාවරත්වය ගෝලීය බලශක්ති වෙළඳපොළට ඉක්මනින් බලපෑම් කළ හැකි නමුත් විද්‍යුත් වාහන මගින් මෙම අවදානම බැහැර කරදෙයි. කෙසේ වුවද, එවැනි අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය පොදු ප්‍රවාහන පද්ධති වැඩිදියුණු කිරීම, බලශක්ති කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උපයෝගීකර ගැනීම විධිමත් කිරීම වැනි පුළුල් උපාය මාර්ග අනුගමනය කළ යුතු වේ.

එහිදී බල විදුලි නිෂ්පාදන ධාරිතාවය ඉහළ නංගවා ගැනීමට සුළං හා සූර්ය ශක්තිය වෙත නැඹුරුවීම ලාංකික අපට වඩාත් පහසු මාර්ග වනු ඇත. මෙකී අනුපූරක පියවර නොමැතිව, විද්‍යුත් වාහන වෙතින් ආර්ථිකයට අත්පත් කර ගතහැකි ප්‍රතිලාභ සීමිත වනු ඇත. මෙවැනි වෙනස්කම් උදෙසා මෙරට තුළ පවතින විභවයන් දේශපාලන තීන්දු මත හා විදුලි ව්‍යාපාරික කුහකයින්ගේ ආකල්ප මත සිදුකරන යෝජනා පරාජය කල යුතුම ය. කෙසේ වුවද, මෙරට අනාගතය සම්බන්ධයෙන් වූ සුබවාදී ගමන් මග ගොඩනැගෙන්නේ එවැනි සාධනීය විසඳුමක් මත පරිවර්තනීය වෙනසක් උදෙසා වර්තමානයේ අප දක්වන දායකත්වය මතයි. විශේෂයෙන්ම ආර්ථික ස්ථාවරත්වය යන්න භූ-දේශපාලනික ගැටළු වෙතින් වෙන් කළ නොහැකි වරින්වර ඉස්මතුවන ගැටළුවකි. ඒ අනුව ඉන්ධන මත යැපෙන ප්‍රවාහන මාදිලි වෙතින් බැහැරවී විද්‍යුත් භාවිතයන් කරා යායුතු ගමන තීරණාත්මක බව මෙයින් පැහැදිලි වේ. මේ අනුව හෝමුස් සමුද්‍ර   සන්ධියේ කැලඹීම අවසානයේ දී මතකයේ රැඳෙනු ඇත්තේ ව්‍යසනයක් ලෙස නොව 21 වන සියවසේ බලශක්ති පරිවර්තනය ඇතිකරවීම සඳහා වූ උත්ප්‍රේරක කාලය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

(සංඛ්‍යාත්මක දත්ත iea.org, argusmedia.com, wri.org, motorcyclesdata.com,

researchreportsworld.com හා climateadaptationplatform.com ඇසුරෙනි.)

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ, – මත්තේගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website