ගොවි බිම් ඇතුළු ඉන්ධන අවශ්‍ය වෙනත් ක්ෂේත්‍රයන්ටත් ‘QR කේත ක්‍රමයක්’ අරඹයි

ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බැලීමට සහ අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට සියලු අමාත්‍යාංශ ආවරණය වන පරිදි ඛනිජ තෙල් නිතීගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක් පත් කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුවේදි තීරණය විය.

සෑම අමාත්‍යාංශයක්ම යටතේ පවතින ආයතනවල මතුවන ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බලා සංස්ථාව සමඟ සම්බන්ධීකරණය පවත්වා ගනිමින් විසඳුම් ලබා දීමට මැදිහත් වීම මෙම නිලධාරීන්ගේ වගකීම බවද එහිදී සාකච්ඡා කෙරිණි.

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුව (27දා) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු සාකච්ඡා විය.

කර්මාන්තකරුවන්ට තමන්ගේ නිෂ්පාදන රට පුරා බෙදාහැරීම සඳහා වාහනවලට දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවද, ඒ ඉල්ලීම් නොසලකා හැරියහොත් භාණ්ඩ මිල ඉහළ දැමීමේ ඉඩකඩක් පවතින බවද, එසේ වුවහොත් උත්සව සමයේ ජනතාව දැඩි අසීරුතාවයකට පත්විය හැකි බවටද මෙහිදි වැඩි අවධානයකින් සාකච්ඡාවට ගනු ලැබීය.

කර්මාන්ත, සතොස ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, තොග ආනයනකරුවන්, සංචාරක ක්ෂේත්‍රයේ සේවා ආයතන හෝ හෝටල් සඳහාත් වෙනත් සේවා සැපයුම් ආයතන සඳහාත් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳවද මෙම කමිටුවේදි සාකච්ඡා විය.

ඒ අනුව, එම ආයතනවලින් ඉදිරිපත් වන ඉන්ධන කෝටාවන් පිළිබඳ ඉල්ලීම් සළකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමටත්, එම ඉල්ලීම් අදාල අමාත්‍යාංශ මගින් බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු බවටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

කෘෂිකර්මය, ධීවර කර්මාන්තය ඇතුළු වෙනත් ක්ෂේත්‍ර සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රවලට අදාල රාජ්‍ය නිලධාරීන්ගේ නිර්දේශ මත නිකුත් කළ ලිපියකට ඉන්ධන ලබා දීම වෙනුවට QR කේත ක්‍රමයක් භාවිතා කිරීමේ වැඩපිළිවෙළ කඩිනම්ව ක්‍රියාත්මක කිරීමටද මෙහිදී අවධානය යොමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website