
රවීනා උදාරි, පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය
කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියේ වඩාත් තීරණාත්මක යෙදවුම් අතර බීජ ඉතා වැදගත් සාධකයක් වන අතර භාවිතයට ගන්නා බීජ මත අනෙකුත් යෙදවුම් පරිහරණයේ කාර්යක්ෂමතාවය තීරණය වෙයි. වැඩි දියුණු කළ බීජ යනු නවීන කෘෂිකාර්මික තාක්ෂණය භාවිතා කිරීමේ කේන්ද්‍රස්ථානය වන අතර නව තාක්ෂණය ගොවිබිමට හඳුන්වා දෙන මෙවලමකි. උසස් ගුණාත්මයෙන් යුතු බීජ භාවිතයෙන් බෝග නිෂ්පාදනය 15%-25% අතර ප්‍රමාණයකින් වැඩි කර ගත හැකි අතර පොහොර, කෘෂි රසායන ආදි අනෙකුත් යෙදවුම් ඵලදායිව යොදා ගැනීම හරහා මෙම නිෂ්පාදනය 45% ක් දක්වා තවදුරටත් වර්ධනය කර ගත හැකිය. උසස් ගුණාත්මයෙන් යුතු බීජ භාවිතයෙන් අනෙකුත් යෙදවුම්වල ඵලදායීතාවය වැඩිකර ගත හැකි අතර අස්වැන්නේ ගුණාත්මය වැඩිකර ගැනීම මෙන්ම වගාව පිළිබඳව ඇති අවදානම අඩුකර ගැනීමට ද හැකි වෙයි. ඒ අනුව, කෘෂිකාර්මික ඵලදායිතාවය සහ බෝග නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රධාන අංගයක් වන්නේ උසස් ප්‍රභේද වල ගුණාත්මක බීජ සඳහා අවශ්‍ය ප්‍රවේශය ගොවි ජනතාවට ලබා දීමයි. බීජ සුරක්ෂිතතාවය යනු දේශීය ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීමේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර බීජ වල ගුණාත්මකභාවය යනු බෝග නිෂ්පාදනයේ ආර්ථික වටිනාකම තීරණය කරන ප්‍රධාන සාධකයකි.
ගුණාත්මක බීජ ලබාදීමේ වගකීම ඇත්තේ කාටද?
දේශීය බීජ නිෂ්පාදන ක්‍රමවේදය විධිමත්, අර්ධවිධිමත් සහ අවිධිමත් යන අංශවලින් සමන්විත වන අතර මෙම ක්‍රියාවලිය නියාමනය සහ කාර්යක්ෂම කිරීමට විවිධ නීති, රෙගුලාසි සහ ක්‍රමවේද ක්‍රියාත්මක වෙයි. ගුණාත්මක බීජ ලබා දීමේ ප්‍රධාන වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු වෙයි. තවද රජයේ ආයතන හැරුණ විට, පුද්ගලික අංශය සහ විවිධ සංවිධාන බීජ නිෂ්පාදනය, අලෙවිය සහ බෙදාහැරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී සිටියි. බෝග ප්‍රභේද අභිජනනය සහ මූලික බීජ නිපදවීම, එම බෝග වලට අදාළ පර්යේෂණ ආයතන හරහා සිදුවෙයි.
මීට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බීජ සහ රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය මඟින් බීජ නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදුවෙයි. බීජ සහතික කිරීම සහ පැලෑටි සංරක්ෂණ මධ්‍යස්ථානය යටතේ බීජ සහතික කිරීමේ සේවය, ජාතික ශාක නිරෝධායන සේවය, පැලෑටි සංරක්ෂණ සේවය සහ පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙයි. මෙහි දී බීජ සහතික කිරීමේ සේවය හරහා බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මය තහවුරු කිරීම සිදු වෙයි. ජාතික ශාක නිරෝධායන සේවය මඟින් ජාතික කෘෂිකර්මාන්තය සහ වෙළඳාම ප්‍රවර්ධනය හා ජෛව සුරක්ෂිතතාවය වැඩි දියුණු කිරීම සඳහා නිරෝගී ශාක හා ශාක නිෂ්පාදන ජාත්‍යන්තර හුවමාරුව සඳහා පහසුකම් සැලසීමත් සිදුවෙයි. තව ද බීජ සහතික කිරීමේ සේවාව පුළුල් කරමින් බීජ පනත ක්‍රියාත්මක කිරීමේ ඒකකය 2011 වර්ෂයේ සිට ද ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහතිකකරණය 2018 වර්ෂයේ සිට ද ක්‍රියාත්මක වෙයි. මීට අමතරව පැළැටි ජාන සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානය හරහා ආහාර බෝග සහ ඒවායේ වන දර්ශවල ශාක ජාන සම්පත් ගවේෂණය, එකතු කිරීම, ඇගයීම, සංරක්ෂණය, කළමනාකරණය සහ තිරසාර භාවිතය සිදුවෙයි.

දේශීය බීජ නිෂ්පාදනය සහ ආනයනික බීජ
බිත්තර වී නිෂ්පාදනයේදී විධිමත් අංශයෙන් ආවරණය වන්නේ සමස්ත වාර්ෂික අවශ්‍යතාවයෙන් 10%-15%ක් පමණ ප්‍රමාණයකි. අර්ධ විධිමත් එනම්, පෞද්ගලික අංශය මගින් ගුණාත්මය තහවුරු කළ බීජ නිෂ්පාදනය කරන අතර එමඟින් බිත්තර වී අවශ්‍යතාවයෙන් 35%-40%ක් පමණ සපුරා ගනු ලබයි. මීට අමතරව ගොවි මහතුන්ගෙන් බහුතරයක් තමන්ට අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය තමන් විසින්ම නිපදවා ගැනීම හෝ අසල්වැසි ගොවි මහතුන් සමඟ හුවමාරු කර ගැනීම වැනි අවිධිමත් ක්‍රමවේදය ඔස්සේ තම බිත්තර වී අවශ්‍යතාවය සපුරා ගනියි. කෙසේ නමුත්, වී නිෂ්පාදන ඵලදායිතාවයේ සැලකිය යුතු වැඩි වීමක් ලබා ගැනීම සඳහා වාර්ෂික බිත්තර වී අවශ්‍යතාවයෙන් අවම වශයෙන් 20%-25%ක් සහතික කළ බීජ ලෙස විධිමත් අංශයයෙන් සැපයීම අවශ්‍ය වෙයි. බිත්තර වී හැරුණු විට අතිරේක ආහාර බෝග වන මුං, උඳු, කව්පි, සෝයා, රටකජු බීජ නිෂ්පාදනය රට තුළම සිදුකරයි. ඒ හැරුනු විට අනෙකුත් බොහොමයක් බෝග සඳහා අවශ්‍ය බීජ ශ්‍රී ලංකාවට ආනයනය කරයි. මේවා අතර බඩඉරිඟු, අර්තාපල්, ලොකුළූණු, මිරිස් සහ එළවළු බීජ ප්‍රධාන වෙයි.
මෙරට ලොකු ළූණු බීජ වාර්ෂික අවශ්‍යතාව කිලෝග්‍රෑම් 20,000-30,000ක් පමණ වන නමුත්, දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන් අඩක් පමණි. ඉතිරි ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින් මෙරටට ආනයනය කරනු ලබන නමුත්, එම ආනයනික ලොකු ළූණු බීජවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු වාර්තා වී තිබේ. ලොකුළූණු සැලකූ විට, ගොවීන්ගේ වැඩි කැමැත්තක් ඇත්තේ දේශීය බීජ සඳහා වන අතර දේශීය බීජ හිඟතාවය නිසා ආනයනික ලොකුළූණු බීජ මත යැපීමට සිදුවී ඇත. ලොකු ළූණු අස්වැන්න තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ බීජ වල ගුණාත්මකභාවය වන අතර දේශීයව නිෂ්පාදනය කරන පූනා රතු, පූසා රතු, දඹුල්ල වරණය, MIBO1 සහ රාම්පූර් යන ලොකු ළූණු ප්‍රභේද, ආනයනික ප්‍රභේදවලට සාපේක්ෂව ඉහළ අස්වැන්නක් ලබා දෙයි.
දේශීය මිරිස් වගාව සඳහා සාමාන්‍යයෙන් වර්ෂයකට මිරිස් බීජ කිලෝග්‍රෑම් 15,000ක් පමණ අවශ්‍ය වන අතර එහිදී විවෘත පරාග ප්‍රභේද ප්‍රමුඛ වෙයි. ආනයනික දෙමුහුන් ප්‍රභේද සඳහා ගොවි මහතුන්ගේ ඇති වැඩි රුචිකත්වය දේශීය බීජ නිෂ්පාදනය අඩු වීමට බලපායි. කෙසේ වෙතත්, මහඉලුප්පල්ලම පිහිටි ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් 2015 වර්ෂයේ දී හඳුන්වා දුන් MICH HY1 දෙමුහුන් මිරිස් ප්‍රභේදය වර්තමානය වන විට ගොවී මහතුන් අතර ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇත. මෙම දෙමුහුන් ප්‍රභේදය අමු මිරිස් සඳහා ඉතා යෝග්‍ය වන අතර හෙක්ටයාරයකට ටොන් 35ක අස්වැන්නක් ලබා ගත හැකිය. MICH HY 1 මිරිස් වර්ගය යල සහ මහ කන්න දෙකේදීම මිරිස් වගා කරන ප්‍රධාන ප්‍රදේශවල සාර්ථක ලෙස වගා කළ හැකි ප්‍රභේදයකි. තවද නිකුත් කරන ලද අනෙකුත් විවෘත පරාගික මිරිස් ප්‍රභේද හා සසඳන විට දින 180කට වැඩි දිගු බෝග කාලයක් ඇත. මෙම ප්‍රභේදය මිරිස් වගාවේ ප්‍රධාන ගැටලුව වන මිරිස් කොළ කරල් සංකීර්ණයට මධ්‍යස්ථ ප්‍රතිරෝධී වෙයි.
බීජ පනත සහ නව බීජ සහ රෝපණ ද්‍රව්‍ය පනත් කෙටුම්පත
දේශීය ආහාර බෝග නිෂ්පාදනය සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනය සහ ආනයනය 1980 දශකය දක්වා මුළුමනින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පැවතුණේය. කෙසේ වෙතත්, බීජ ආනයනය කිරීමේ සම්පූර්ණ වගකීම 1984 වර්ෂයේ සිට පුද්ගලික අංශය වෙත පවරා දුන් අතර 1990 වර්ෂයේ සිට දේශීයව වැඩිදියුණු කළ ප්‍රභේදයන්ගේ බීජ නිෂ්පාදනය පුද්ගලික අංශය විසින් ආරම්භ කරන ලදී. ඒ අනුව විවිධ පාර්ශ්වයන් බීජ නිෂ්පාදනයට සම්බන්ධ වූ බැවින් ඒවායේ ගුණාත්මය ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය විය. මේ සඳහා 1996 වර්ෂයේ දී ජාතික බීජ ප්‍රතිපත්තිය හඳුන්වා දෙන ලදි. එහෙත් ප්‍රමිතියෙන් තොර බීජ සහ රෝපණ ද්‍රව්‍ය වෙළඳපොළේ සංසරණය වීම, අලෙවි කරනු ලබන බීජ සහ රෝපණ ද්‍රව්‍ය සමඟ රෝග පළිබෝධ හා වල් පැළෑටි බීජ ව්‍යාප්ත වීම, කල් ඉකුත් වු බීජ සහ රෝපණ ද්‍රව්‍ය විකිණීම, නීත්‍යානුකූල නොවන මාර්ග වලින් ගෙන්වන ලද විදේශීය බීජ වෙළඳපළෙ වෙත ඉදිරිපත් කිරීම වැනි කරුණු මඟින් දේශීය ගොවීන් අපහසුතාවයට පත්වීම, ඔවුන් වගා කල අස්වැන්නේ ගුණාත්මය සහ ප්‍රමාණය පහළ යෑම වැනි කරුණු වැළැක්වීම පිණිස නීතිමය ආවරණයක් අවශ්‍ය විය. ඒ අනූව, 2003 අංක 22 දරන බීජ පනත රජය විසින් බලාත්මක කරන ලදී.
අසල්වැසි රටවල් සමග සැසදීමේ දී ඉන්දියාව 1966 වර්ෂයේ ද පකිස්ථානය සහ බංගලාදේශය පිළිවෙළින් 1976 සහ 1977 වර්ෂ වලදී ද බීජ පනත් ඉදිරිපත් කර ඇත. අනෙකුත් සාක් රටවල් සමග සැසඳීමේ දී ඇෆ්ගන්ස්තානය හැරුණු විට ඉතිරි සියලුම රටවල් ශ්‍රී ලංකාවට පෙර බීජ පනත් ක්‍රියාත්මක කර තිබේ. මෙහි දී නිදර්ශනයක් ලෙස ඉන්දියාව සැලකූ විට, 1966 බීජ පනතේ සිට 2004 බීජ පනත් කෙටුම්පත දක්වා වූ බීජ ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ හුදෙක් ඉන්දියාවේ විකාශනය වන අවශ්‍යතා සහ වෙළෙඳපොළ ගතිකත්වය අරමුණු කර ගත් අතර බීජ ක්ෂේත්‍රයේ පරිවර්තීය වෙනසක් සිදුකිරීමට හේතුවී ඇත. අද වන විට ඉන්දියානු බීජ කර්මාන්තය ලෝකයේ පස්වන විශාලතම බීජ වෙළෙඳපොළ වන අතර වාර්ෂිකව දළ වශයෙන් 10% කින් පමණ වර්ධනය වෙයි. ගෝලීය වෙළෙඳාම සම්බන්ධයෙන් ගත්කළ මල්, පලතුරු, එලවළු සහ බොහොමයක් ක්ෂේත්‍ර බෝග බීජ වලින් ඉන්දියාව ස්වයංපෝෂිත වෙයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ 2003 අංක 22 දරණ බීජ පනත දශක දෙකක් පමණ පැරණි අතර නවීන කෘෂිකර්මාන්තයේ මතුවෙමින් පවතින ගැටලු විසඳීමට එහි දැනට පවතින නීති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවේ. එම නිසා වර්තමාන නීතිමය අවශ්‍යතාවයන්ට හා සංවර්ධනය වෙමින් පවතින බීජ කර්මාන්තයට හිතකර වන සේ පනත පුළුල් ලෙස වෙනස්කම් වලට ලක්කිරීම, කාලීන අවශ්‍යතාවයක් වී ඇත.
එහෙත් දැනට පවතින පහත සංශෝධනය කළ ද වර්තමාන ප්‍රායෝගික අවශ්‍යතා සපුරා ගැනීම අසීරු කටයුත්තක් මෙන්ම සංකීර්ණ නීතිමය ප්‍රතිපාදන සමග පරස්පරතා මතු විය හැකිය. එබැවින් මෙම පනත සංශෝධනය නොකර වර්තමාන කෘෂිකාර්මික සංවර්ධන ක්‍රියාදාමයට ගැළපෙන අයුරින් හා පවත්නා නීතිමය රාමුවෙහි ඇති අඩුලුහුඩුකම්, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූල වන පරිදි පුළුල් වෙනස්කම් වලට ලක් කිරීම අවශ්‍ය වී ඇත.
එමඟින් බීජ හා රෝපණ ද්‍රව්‍ය වල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම නියාමනය කිරීම, බීජ හා රෝපණ ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා හසුරුවන්නන්ගේ ක්‍රියාකාරකම් විධිමත් කිරීම හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, බීජ හා රෝපණ ද්‍රව්‍ය කර්මාන්තයේ සංවර්ධනය, කර්මාන්තයට වැදගත් වන්නා වූ දේශීය බීජ හා රෝපණ ද්‍රව්‍ය වල ජාන සම්පත් සුරක්ෂිත කිරීම හා සංරක්ෂණය සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීමට නියමිත අතර එය 2003 අංක 22 දරණ බීජ පනත පරිචිඡින්න කිරීම පිණිස වූ නව පනතක් සඳහා යෝජනාවලියක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙහිදී 2003 අංක 22 දරණ බීජ පනතේ ඇති කොටස් 7ක්, මෙම යෝජනාවලියේදී කොටස් 12ක් යටතේ ඉදිරිපත් කර ඇත.
බීජ අංශයේ සංවර්ධනය සඳහා අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
බීජ සහතික කිරීම සඳහා වන කාර්ය මණ්ඩල හිඟය සහ අධික පිරිවැය බීජ සහතික කිරීමේ සේවාවේ පවතින ප්‍රධාන බාධාවන් වෙයි. මීට අමතරව, වෙළඳපොළේ ඇති බීජවල ගුණාත්මකභාවය අහඹු ලෙස නිරීක්ෂණය කිරීමට ඇත්තේ සීමිත ධාරිතාවකි. මීට අමතරව, ගුණාත්මයෙන් තොර බීජ වෙළඳපොළේ සංසරණය වීම, රෝග පළිබෝධ සහ වල්පැළෑටි බීජ මිල දී ගන්නා බීජ සමඟ ව්‍යාප්ත වීම, නීත්‍යානුකූල නොවන මාර්ග වලින් ගෙන්වන ලද විදේශීය බීජ වෙළඳපොළට ඇතුළු වීම, ආනයනික බීජ සඳහා වන ඉහළ මිල සහ ඒවා නියාමනය නොකිරීම, අවශ්‍ය වේලාවේ දී අවශ්‍ය බීජ තොග ලබා ගැනීමට නොහැකි වීම ආදී හඳුනාගත් ගැටලු බොහොමයක් පවතී. තවද ගුණාත්මයෙන් තොර බීජ භාවිතය නිසා ගොවීන් අපහසුතාවයට පත්වීම සහ ඔවුන්ගේ අස්වැන්නේ ගුණාත්මය සහ ප්‍රමාණය පහළ යාම වැනි කරුණු සලකා ඊට අදාළ වන්දි මුදලක් ලබා ගැනීමේ ගැටලු පවතී. මේ නිසා ප්‍රමිතියෙන් තොර බීජ වෙළඳාමට එරෙහිව නීතිමය පියවර ගැනීමත් අදාළ ගොවීන්ගේ අභියාචනා සලකා බැලීමටත් වින්දිතයින්ට වන්දි ගෙවීමටත් ඇති රෙගුලාසි යාවත්කාලීන කිරීම සහ බලාත්මක කිරීම කළ යුතුය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලික අරමුණ වන්නේ ගොවීන්, ගොවි සංවිධාන සහ පෞද්ගලික අංශයෙහි බීජ නිෂ්පාදනයට අවශ්‍ය මූලික බීජ, එනම් ඉහළ බීජ පංති වල බීජ නිෂ්පාදනයයි. එනම් විධිමත් අංශයේ බීජ නිෂ්පාදනය තුලින් පමණක් රටේ සමස්ථ බීජ අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන සම්බන්ධ කර ගනිමින් කෘෂි ව්‍යාප්ති සේවය හරහා අවිධිමත් බීජ නිෂ්පාදන ක්‍රම වැඩිදියුණු කිරීමටත් ඒ හරහා නිපදවන බීජ වල ගුණාත්මය වැඩි කිරීමත් කළ යුතුය. මේ සඳහා කෘෂි ව්‍යාප්ති සේවය කාර්යක්ෂම කිරීමත් වැඩි දියුණු කළ දේශීය ප්‍රභේද ගොවීන්ට හඳුන්වා දීමත් කළ යුතුය. දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා සුළු පරිමාණ ගොවීන් ඊළඟ කන්නය වගා කිරීම පිණිස බීජ ඊළඟ කන්නය තෙක් කල්තබා ගන්නා ආකාරය පිළිබඳ තාක්ෂණික දැනුම ලබා දිය යුතුය.
2003 අංක 22 දරණ බීජ පනත කාලානුරූපව සහ නීතිමය අවශ්‍යතාවයන්ට අනුකූලව එහි සංශෝධන සිදුකිරීම අත්‍යවශ්‍ය වෙයි. තව ද බීජ ක්ෂේත්‍රය කර්මාන්තයක් ලෙස වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය සහ පුද්ගලික අංශය අතර හවුල්කාරීත්වයන් හරහා සහයෝගිතාව වර්ධනය කළ යුතුය. බීජ කර්මාන්තයේ දියුණුවට අවශ්‍ය ව්‍යාපාරික පරිසරයක් ගොඩනැංවීම යනු රජයේ මැදිහත්වීම අවශ්‍ය වන ප්‍රධාන අංශයකි. මේ සඳහා බීජ නිෂ්පාදනය සහ අලෙවිකරණය සඳහා පුද්ගලික ආයෝජන දිරිමත් කරන ප්‍රතිපත්ති සහ නීති රෙගුලාසි සම්පාදනය කිරීම සහ බලාත්මක කිරීම, බීජ නිෂ්පාදනය සඳහා භාවිතා කරන ඉඩම් සඳහා බදු සහන ලබා දීම, පර්යේෂණ පද්ධතියෙන් වැඩිදියුණු කළ බීජ සඳහා ප්‍රවේශය ලබා දීම, ණය සහනාධාර, උපකරණ මත තීරු බදු නිදහස් කිරීම්, බීජ නිෂ්පාදනය සහ බෙදා හැරීමේ පිරිවැය අඩු කරන අනෙකුත් ප්‍රතිලාභ ආදිය ඇතුළත් වෙයි.
ශ්‍රී ලංකාවේ එලවළු බීජ වෙළෙඳපොළ සම්බන්ධයෙන් සැලකීමේ දී ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැට වන්නේ බීජ මිල ගණන් ඉහළ මට්ටමක පැවතීමයි. පෞද්ගලික අංශය විසින් ආනයනය කරන බීජ මිල පාලනය කිරීමට ක්‍රමවේදයක් දැනට පවතින පනත තුළ අන්තර් ගත නොවන අතර ආනයනික බීජ වල මිල පාලනය කිරීම සඳහා රජය මැදිහත් විය යුතුය. ඒ අනූව නිෂ්පාදන වියදම අවම කිරීම සඳහා බීජ සඳහා උපරිම මිල ප්‍රතිපත්තිය අත්‍යවශ්‍ය වෙයි. දේශීය බීජ නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවි කිරීමේ වැඩසටහන් පුළුල් හා ශක්තිමත් විය යුතු අතර දේශීය බීජ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා දේශීයව නිෂ්පාදනය කළ හැකි බීජ ආනයනය සීමා කළ යුතුය. නිදසුනක් ලෙස දේශීය මිරිස් වගාව සඳහා මහඉලුප්පල්ලම පිහිටි ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් 2015 වර්ෂයේදී හඳුන්වා දුන් MICH HY1 දෙමුහුන් මිරිස් ප්‍රභේදය ගොවී මහතුන් අතර ප්‍රචලිත කළ හැකිය.
මේ වන විට ජාන බැංකුව යටතේ ලියාපදිංචි කර ඇති බෝග දර්ශ වල අනුක්‍රමික ගණන 16,000ක් පමණ වෙයි. සාම්ප්‍රදායිකව වගා කරන ලද විවිධ එළවළු වර්ග සහ බෝග ප්‍රභේද ගොවීන් වැඩි දියුණු කළ බීජ වෙත මාරුවීම නිසා අහිමි වී ඇත. මේ නිසා පවතින බීජ සංරක්ෂණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සහ සාම්ප්‍රදායික බීජ තිරසාර ලෙස භාවිතා කිරීම සඳහා ගොවි ප්‍රජාව දැනුවත් කිරීම සහ ඒ හරහා පාරම්පරික බෝග ප්‍රභේදවල ජාන සංචිතය ආරක්ෂා කිරීමත් අවශ්‍ය වෙයි. ප්‍රජා බීජ බැංකු මේ සඳහා යොදා ගත හැකි වුවත්, ප්‍රජාව විසින් පවත්වා ගෙන යනු ලබන බීජ බැංකු ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම, ප්‍රජා බීජ බැංකු ලියාපදිංචි කර ඒවාට අරමුදල් සහ විශේෂඥ උපදෙස් වැනි සහාය ලබා දීම කළ යුතුය.
රතුඉර පුවත්පතේ 2026 අප්‍රේල් 05 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි
















