ගල්ගමුව පොලිස් වසමේ ගල්ගමුව ප්‍රාදේශීය සභා රථගාල තුළදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ගල්ගමුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. ඊයේ (24) මෙම ඝාතනය සිදුවී ඇත.
මරණකාරිය අවුරුදු 37 ක් වූ මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය හා ඇයගේ ස්වාමිපුරුෂයා අතර ඇති පවුල් ආරවුලක් හේතුවෙන් දෙදෙනා වෙන්ව ජීවත් වන අතර ගල්ගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට සාක්ෂි ලබාදීම සඳහා දෙදෙනාම පැමිණ සිටි අවස්ථාවේදී ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්ගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.











