කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය ඇරඹෙයි!

වසර 109ක ඓතිහාසික උරුමය සුරකිමින්, නවීන තාක්ෂණයෙන් යුත් මඟී පහසුකම් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට එක් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. CSRP ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළෙහි පළමු අදියර අද (09) ආරම්භ විය.

​ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ රජයේ ප්‍රතිපාදන මත රුපියල් මිලියන 2162.64 ක පිරිවැයකින් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය මාස 15ක් ඇතුළත අවසන් කිරීමට නියමිතය.

පළමු අදියරේදී සිදුවන ප්‍රධාන වෙනස්කම්

  • ​නවීන මඟී පාලම් – මරදාන සහ කොම්පඤ්ඤවීදිය අන්තයේ ඇති පැරණි පාලම් වෙනුවට, විදුලි සෝපාන (Elevators) සහ ස්වයංක්‍රීය තරප්පු පෙළ (Escalators) සහිත නවීන මඟී පාලම් ඉදිකිරීම.
  • තෙමහල් සේවා ගොඩනැගිල්ල – මඟී අවශ්‍යතා සපුරාලීම සඳහා නව සේවා ගොඩනැගිල්ලක් එක් කිරීම.
  • නව පිවිසුම් පහසුකම් – ඕල්කට් මාවත හරහා ඇති ගුවන් පාලම මැකලම් පාර (සම්පත් බැංකුව අසල) දක්වා දීර්ඝ කර සම්බන්ධ කිරීම.
  • ඩිජිටල් තාක්ෂණය – E-Gate පහසුකම හඳුන්වා දෙමින් දුම්රිය ස්ථානයට ඇතුළුවීම සහ පිටවීම වඩාත් විධිමත් කිරීම.

​මෙම සියලු ඉදිකිරීම් 1917 දී විවෘත කළ මෙම දුම්රිය ස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමට හානියක් නොවන සේ සහ දෛනික දුම්රිය ධාවනයට අවම බාධාවක් වන පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website