119 පොලිස් හදිසි ඇමතුම් අංකය මගින් කොක්කඩිචෝල පොලිස් ස්ථානයට ප්‍රදේශවාසීන් දැනුම්දුන් තොරතුරක් මත 2026.03.20 වන දින කොක්කඩිචෝල, කුළුවිනාමඩු, නෙල්ලිකාඩු ප්‍රදේශයේ ළිඳක් තුළ සිටි කාන්තාවක් හා එම ලිඳ තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනුනි.
බේරාගත් කාන්තාව ප්‍රථිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කෙරුනු අතර මූලික විමර්ශන මගින් මියගොස් සිටි කාන්තාව තික්කෝඩි, වම්මිඅඩිඋත්තු ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණය විය.
කාන්තාවන් දෙදෙනා අවස්ථාවන් දෙකකදී අපරාධයකට ලක්ව මෙලෙස ලිඳ තුළට දමා ඇති බව අනාවරණය වීමෙන් විමර්ශන සිදුකළ නැගෙනහිර පළාත් අපරාධ කොට්ඨාසය නිලධාරින් පැහැරගෙන යාම, කොල්ලකෑම හා මනුෂ්‍ය ඝාතනය සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගත්හ.
සැකකරුවන් දෙදෙනා අවුරුදු 22 හා 26 වයසේ පසුවන්නන්ය. සැකකාරියට වයස අවුරුදු 26 කි.
ඝාතනය වූ කාන්තාව හා ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී ගමන් පහසුකම් සපයන මුවාවෙන් ත්‍රීරෝද රථයකට නංවාගෙන අතරමඟදී යම් පානයක් මගින් සිහිසුණු කර ඔවුන්ගේ රන් ආභරණ කොල්ලකා ජලය සහිත එම ළිඳට දමා ඇති අතර ඝාතනයට ලක්වූ කාන්තාව 2026.02.28 වන දින ඇය වෙල්ලාවලි ප්‍රදේශයේ සිට කලවංචිකුඩි පොලිස් වසමේ පළුගාමම් රජයේ රෝහලට හා බැංකුවට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස අපරාධයට ලක්ව ඇති බව අනාවරණය වී තිබේ.
ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාව 2026.03.19 වන දින ඇයගේ තුන් හැවිරිදි දරුවා සමඟ වව්නතිව් ප්‍රදේශයේ සිට මඩකලපුව දක්වා ගමන් කිරීමට බස් රථයක් පැමිණෙන තුරු මාර්ගයේ රැඳී සිටියදී මෙම සැකකාරිය හා සැකකරු විසින් ඉහත පරිදි කොල්ලකා ඇත.
අවුරුදු 03 ක් වයසැති දරුවා වව්නතිව් පොලිස් වසමේ වාලකාල ප්‍රදේශයේ වෙල් යායක අතහැර දමා ගොස් සිටියදී සොයාගැනුනි.
කොල්ලකන ලද රන් ආභරණ සන්තකයේ තබා ගැනීම හා බැහැර කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද මඩකලපුව ප්‍රදේශයේදී විමර්ශන නිලධාරින් විසින් 2026.03.22 වන දින අත්අඩංගුවට ගෙන කොක්කඩිචෝලේ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
එම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 39 හා 49 වයස්වල පසුවන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
පැහැරගෙන ඝාතනය කිරීමට සෘජුවම සම්බන්ධ සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය 2026.03.27 වන දින දක්වා රඳවාගෙන විමර්ශන සිදුකිරීමට කොක්කඩිචෝලය පොලිස් ස්ථානය විසින් අවසර ලබාගෙන ඇති අතර රන් ආභරණ සන්තකයේ තබා ගැනීම හා බැහැර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 2026.03.27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.














