කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාවේ කටයුතු ස්වාධීනවත් අපක්ෂපාතීවත් ඉටු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් කොමිසමේ කටයුතු සඳහා මුදල් වෙන් කර නොමැති නම් පරිපූරක ඇස්තමේන්තුවක් හරහා මුදල් වෙන් කිරිමට විපක්ෂය සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට දැනුම් දුන්නේය.
අද (03) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
2024 අංක 37 දරන කාන්තා සවිබල ගැන්වීමේ පනත මඟින් මෙරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාව පිහිටවනු ලැබූ නමුත් එම කොමිසම ස්ථාපිත කර මාස 4ක් වැනි කෙටි කාලයක් ඇතුළත එහි ප්‍රථම සභාපතිනිය වන අචාර්ය රමනි ජයසුන්දර මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති අතර ඇයගේ ඉල්ලා අස්වීමට ප්‍රධාන වශයෙන්ම කොමිසමට ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම, ස්වාධීන කාර්යාල පරිශ්‍රයක් හා නිසි කාර්ය මණ්ඩලයක් නොමැති වීම ආදී හේතු බලපා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
එසේම අදාළ අමාත්‍යාංශය විසින් කොමිසමේ ස්වාධිනත්වයට හානි කරන අයුරින් පරිපාලනමය මැදිහත්වීම් සිදු කරන බවටත් කොමිසම අමාත්‍යාංශය යටතට ගැනීමට උත්සාහ කරන බවට බරපතල චෝදනා එල්ල වී ඇත. එහි දී මෙම කොමිෂමේ කටයුතු ස්වාධීනවත් අපක්ෂපාතීවත් ඉටු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් කොමිසමේ කටයුතු සදහා මුදල් වෙන් කර නොමැති නම් පරිපූරක ඇස්තමේන්තුවක් හරහා මුදල් වෙන් කිරිමට විපක්ෂය සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.















