ක්ෂය රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක්: ක්ෂය රෝගය ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?

ක්ෂය රෝගය කියලා කියන්නේ බැක්ටීරියාවක් මඟින් බෝවන රෝගී තත්ත්වයක්. ප්‍රධාන වශයෙන් ශ්වසන මාර්ගය ආශ්‍රිතව තමයි ක්ෂය රෝගය හැදෙන්නේ. නමුත් ශරීරයේ හිස කෙස් සහ නිය හැර අනෙක් සෑම අවයවයකම ක්ෂය රෝගය හැදෙන්න පුළුවන්කම තිබෙනවා.

ක්ෂය රෝගයට වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙනවා. ඒ වුණත් මේ රෝගී තත්ත්වය, රෝගකාරක බැක්ටීරියාව Mycobacterium tuberculosis කියන බැක්ටීරියාව මුලින්ම හඳුනා ගත්තේ 1882 දී, ඒ Robert Koch කියන විද්‍යාඥයා විසින්.  රෝග කාරකයා සොයා ගත්තත් ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර සොයා ගන්න පුළුවන් වුණේ 1943 දී. ඒ streptomycin කියන ඖෂධය.

ක්ෂය රෝගීන්ව ඉතා හොඳ වාතාශ්‍රයක් තිබෙන ස්ථානය තැබීමට කටයුතු කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ‘අධි අවදානම් රටවල්’ සහ ‘අඩු අවදානම් රටවල්’ ලෙස මේ රටවල් කාණ්ඩ කර තිබෙනවා. ලෝක ජනගහණයෙන් ¼කට පමණ ක්ෂය රෝගය ආසාදනය වෙලා තිබෙන්න පුළුවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. නමුත් රෝග කාරක බැක්ටීරියාව ආසාදනය වුණ පමණින්ම ක්ෂය රෝගය වැළදෙන්නේ නැහැ. මේ තත්ත්වය තුළ වාර්ෂිකව ක්ෂය රෝගීන් මිලියන 10ක් පමණ අලුතින් හඳුනා ගන්නවා. මේ රෝගීන්ගෙන් මිලියන 1.2ක් පමණ වාර්ෂිකව මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.  මේ රෝගීන් අතර මිලියනයක් පමණ ළමා රෝගීන් ඉන්නවා. මේ ළමා රෝගීන්ගෙන් 140,000ක් පමණ වාර්ෂිකව මිය යනවා.

පොදුවේ ගත් විට ඔ්නෑම පුද්ගලයෙකුට ක්ෂය රෝගය ආසාදනය වෙන්න පුළුවන්. නමුත් සංවර්ධිත රටවල ක්ෂය රෝගය  බහුලව දකින්න ලැබෙන්නේ නැහැ. සංවර්ධනය වෙමින් පවතින රටවල තමයි මේ රෝගය බහුලව පවතින්නේ. ඒ අනුව දකුණු ආසියානු සහ අප්‍රිකානු රටවල ක්ෂය රෝගය බහුලව දකින්න ලැබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලංකාව ‘අඩු අවදානම්’ රටක්. නමුත් අපි ඉන්නේ දකුණු ආසියානු කලාපයේ අධි අවදානම් රටවලට සමීපවයි. ලෝක ‌සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 100,000කට ක්ෂය රෝගීන් 62ක් වාර්තා වෙන බව 2023 දී ඇස්තමේන්තු කරලා තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව නව රෝගීන් 14,000ක් පමණ සොයා ගැනීමට අවශ්‍යයි. නමුත් පසුගිය වර්ෂවල අපට අලුත් රෝගීන් 8500-9500ක් පමණයි වාර්ෂිකව වාර්තා වුණේ.

2023 වර්ෂයේ දී ලංකාවෙන් ක්ෂය රෝගීන් 9438ක් පමණ වාර්තා වුණා. ඒ රෝගීන්ගෙන් 50%ක් පමණ වාර්තා වුණේ බස්නාහිර පළාතෙන්. බස්නාහිර පළාතෙන් වාර්තා වුණ රෝගීන්ගෙන් 50%ක් පමණ වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. වාර්ෂිකව නව ක්ෂය රෝගීන් 2500ක් පමණ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා. මේ රෝගීන්ගෙන් 50%ක් වාර්තා වෙන්නේ කොළඹ මහ නගර සභාව තුළින්. ඒ කියන්නේ වාර්ෂිකව රෝගීන් 1500කට වැඩි ප්‍රමාණයක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. බස්නාහිර පළාතට අමතරව මහනුවර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය,  කුරුණෑගල දිස්ත්‍රික්කය සහ කෑගල්ල දිස්ත්‍රික්කය, අනුරාධපුරය සහ නුවරඑළිය කියන දිස්ත්‍රික්ක වලින් බහුලව ක්ෂය රෝගීන් වාර්තා වෙනවා. නමුත් අනෙක් දිස්ත්‍රික්කවලිනුත් රෝගීන් යම්කිසි ප්‍රමාණයක් වාර්තා වෙනවා.

වැඩි වශයෙන් ක්ෂය රෝගීන් වාර්තා වෙන්නේ පුරුෂ පක්ෂයෙන්. කාන්තාවන් සහ පිරිමින් අතර මෙම අනුපාතය 1:1.8 පමණ අනුපාතයක් වෙනවා. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ මේ අනුපාතය වෙනස් වෙලා තිබෙනවා. එහි කාන්තාවන් සහ පිරිමින් අතර වැඩි වෙනසක් වාර්තා වන්නේ නැහැ.

ජනගහනය බහුලව වාර්තා වන ප්‍රදේශවල තමයි ක්ෂය රෝගීන් බහුලව වාර්තා වෙන්නේ. ඔ්නෑම පුද්ගලයෙකුට ක්ෂය රෝගය වැළදෙන්න පුළුවන්. නමුත් මන්දපෝෂණය ඉහළ, ඉතාම සමීපව වාසය කරන කණ්ඩායම් අතර ක්ෂය රෝගය බහුලව වාර්තා වෙනවා. ඒ වගේම ලංකාවේ වැඩිහිටියන් තුළ වැඩි රෝගීන් පිරිසක් වාර්තා වෙනවා. අවුරුදු 50ට වඩා වැඩි වයස් කාණ්ඩය අවදානම ‘වැඩි’  වයස් කාණ්ය ලෙස අපි සලකනවා. ඒ වගේම HIV ආසාදිතයින්, සිරකරුවන්, නිදන්ගත රෝගීන්, විශේෂයෙන් දියවැඩියා රෝගීන්, වකුගඩු රෝගීන් සහ රක්ත රෝග සඳහා ඖෂධ භාවිතා කරන පුද්ගලයින් අතරත් ක්ෂය රෝගය පැතිරීමේ වැඩි අවදානමක් තිබෙනවා.

සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින කැස්ස තමයි අපි ප්‍රධාන රෝග ලක්ෂණය ලෙස සලකන්නේ. ඊට අමතරව සවස් කාලයේ දී ඇති වන මද උණ ගතිය,  බර අඩුවීම, රාත්‍රී කාලයේ දී අධික ලෙස දහඩිය දැමීම යන ප්‍රධාන රෝග ලක්ෂ හතර තමයි අපි ‘ක්ෂය රෝගයේ ප්‍රධාන ලක්ෂණ’ ලෙස හඳුන්වන්නේ.

දුම්පානය කරන පුද්ගලයින්ගේ පෙණහළු දුර්වලයි. ඒ නිසා රෝගකාරක බැක්ටීරියාව ශරීරයට ඇතුළු වුණොත් ඒ අයට රෝගය වැළදීමේ වැඩි ඉඩක් තිබෙනවා. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්. ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉතාම අඩුයි. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් බොහෝ විට ඒවා කරන්නේ කණ්ඩායමක් සමඟ. එවැනි තත්ත්වයක් තුළ ක්ෂය රෝගය ආසාදිතයෙක් හිටියොත් ඉතාම පහසුවෙන් අනෙක් අය අතර රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ක්ෂය රෝගය ශ්වසන  මාර්ගය පැතිරෙන රෝගයක් වීම.

දියවැඩියා රෝගීන් සහ වකුගඩු රෝගීන් අතර ක්ෂය රෝගය ආසාදනය වීමේ වැඩි අවදානමක් තිබෙනවා.

හඳුනා ගත් සෑම ක්ෂය රෝගියෙකුම ඔහු ජීවත් වන දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් ළය චිකිත්සාගාරයේ ලියාපදිංචි විය යුතු බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන ලෙස අපි දැනුම් දී තිබෙනවා. රජයේ ඔ්නෑම රෝහලක් ක්ෂය රෝගියෙක් හඳුනා ගත් පසු දිස්ත්‍රික් ළය චිකිත්සකාගාරයේ ලියාපදිංචි කරනවා. ක්ෂය රෝග සඳහා ප්‍රතිකාර ලබා දෙන්නේ ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන හරහා. දිස්ත්‍රික් මට්ටමින් පවතින ළය රෝග සායනවලට නියමිත ඖෂධ ලබාදීම සිදුවෙනවා. ඒ අනුව ලියාපදිංචි වන සෑම රෝගියෙකුටම  නොමිලේ ප්‍රතිකාර කිරීම කරනවා. ක්ෂය රෝගීන්ට පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාවක් නැහැ.

සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින කැස්ස, සවස් කාලයේ දී ඇති වන මද උණ ගතිය,  බර අඩුවීම, රාත්‍රී කාලයේ දී අධික ලෙස දහඩිය දැමීම යන ප්‍රධාන රෝග ලක්ෂණ තිබෙන ඔ්නෑ පුද්ගලයෙකුට ළඟම ඇති රජයේ රෝහලට හෝ දිස්ත්‍රික් ළය චිකිත්සකාගාරයට ගොස් නොමිලේ අදාළ පරීක්ෂණ කර ගන්න පුළුවන්. මගේ ඉල්ලීම තමයි ඔබට හෝ ඔබේ සමීපතමයෙකුට මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම් නොපමාව රජයේ රෝහලකට හෝ දිස්ත්‍රික් ළය රෝග සායනයට  යන්න. ඔබේ රෝහය හඳුනා ගත්තොත් ඔබට නොමිලේ සියලු ප්‍රතිකාර කරන්න අපි සූදානම්. නිසි කාලයේ දී රෝගය හඳුනා නොගත්තොත් පෙණහළු දුර්වල වී යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි තත්ත්වයට පත් වෙනවා. නමුත් මුල් අවස්ථාව් දී රෝගය හඳුනා ගත්තොත් ක්ෂය රෝගය නිට්ඨාවලටම සුව කරන්න පුළුවන්.

ක්ෂය රෝගය කියන්නේ ඉක්මනින් හඳුනා ගෙන, ඉක්මනින් ප්‍රතිකාර ලබා ගෙන ඉක්මනින් සුවය ලබා ගත හැකි රෝගයක්. නමුත් නිසි කලට නිසි ප්‍රතිකාර ලබා නොගත්තොත් අකාලයේ මිය යාමේ හැකියාවකුත් තිබෙනවා. ඒ නිසා ඔ්නෑම කෙනෙකුට නොමිලේ ප්‍රතිකාර ලබාගත හැකි අපේ සායනකයට පැමිණෙන ලෙස මම කාරණිකව ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website