මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඉල්ලා සිටින අවශ්‍ය ඉන්ධන කෝටා ලබා දීම සඳහා විශේෂ බලපත්‍ර ක්‍රමයක් නිකුත් කිරීම පිළිබඳව රජය සලකා බලමින් සිටින බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේය.
වත්මන් ඉන්ධන කෝටාව ඔවුන්ගේ මෙහෙයුම් පවත්වා ගැනීමට ප්‍රමාණවත් නොවන බව කර්මාන්ත හිමියන් විසින් පෙන්වා දී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා අමාත්‍යාංශය ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවත්, මෙම කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් දැනටමත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉදිරිපත් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
“කර්මාන්තකරුවන් 2300ක් පමණ මේ වන විට කර්මාන්ත අමාත්‍යාංශයෙන් තම ඉන්ධන කෝටා වැඩි කරන ලෙස ඉල්ලා තිබෙනවා. එසේම කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාරවලට ඔවුන්ගේ පෙර ඉන්ධන පරිභෝජනය පිළිබඳ විස්තර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ අවශ්‍ය ඉන්ධන කෝටා ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා” නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.















