ඔහුත් බාල ගල් අඟුරු වංචාවට සම්බන්ධ හෙයින් ජනපතිවරයා දූෂිතයින් ආරක්ෂා කරනවා – නාමල් රාජපක්ෂ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගල් අඟුරු  වංචාවට හවුල් වී ඇති බවත්, රජය ඊට සම්බන්ධ අය ආරක්ෂා කරන බවත් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසුවේ, ජනාධිපතිවරයා ගල් අඟුරු ප්‍රශ්නය වංචාවක් ලෙස හඳුනා ගැනීමට අපොහොසත් වී එම චූදිතයන් ආරක්ෂා කිරීමට දිගටම කටයුතු කරන්නේ නම්, එය සෘජු මැදිහත්වීමක් පෙන්නුම් කරන බවයි.

“ජනාධිපතිවරයාගේ හැසිරීම සහ ප්‍රකාශ චෝදනාවට ලක්වූ අක්‍රමිකතාවන්ට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීමේ උත්සාහයක් පෙන්නුම් කරනවා. කුමාර ජයකොඩි අමාත්‍යවරයාට චෝදනා එල්ල වෙන්නේ ඔහු ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සේවය කරමින් සිටි සමයේ දී සිදු කළ බව කියන ප්‍රසම්පාදන දූෂණයක් සම්බන්ධයෙන්. ඔහු ජාතික පොහොර ලේකම් කාර්යාලයට පත් කළේ වත්මන්  ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ දීයි. ඔහුට විරද්ධව දූෂණ චෝදනා තිබෙන බව දැන දැනමයි ජනාධිපතිවරයා ඔහුව වත්මන් ආණ්ඩුවේ ඉහළම කැබිනට් අමාත්‍ය ධුරයකට පත් කළේ” නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසුවේය.

වත්මන් රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමට රජය අපොහොසත්ව ඇති බවයි. මෙනිසා ජනතාව විශාල පීඩාවකට පත්ව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

වෛද්‍යවරුන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා දීමනාවල අනුරූප වැඩිවීමක් නොමැතිව ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත්, එමඟින් ඔවුන් මූල්‍යමය පීඩනයකට ලක්වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජීවන වියදම ඉහළ යාම, මිල පාලන පියවර නොමැතිකම සහ කෘෂිකාර්මික ප්‍රතිපත්තිවල අවිනිශ්චිතභාවය, විශේෂයෙන් සහල් ආනයනය සහ පොහොර හිඟය සම්බන්ධයෙන් නාමල් රජයට චෝදනා කළ අතර ඡන්දය ලබා ගැනීමට ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන ලෙස ද රජයෙන් ඉල්ලා සිටියේය.

“ඔවුන් ජනතාවගේ ඡන්දය ලබා ගත්තේ විශාල වශයෙන් පොරොන්දු දීලා, ඉන්ධන මිල අඩු කිරීම, විදුලී බිල අඩු කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මත බදු ඉවත් කිරීම ඇතුළු සාමාන්‍ය ජනතාවට දැනෙන ආකර්ෂණීය පොරොන්දු විශාල ප්‍රමාණයක් දුන්නා. ජනතාව මාළිමාවට, අනුර කුමාර දිසානායකට ඡන්දය දුන්නේ මේ පොරොන්දු නිසා. ඒ නිසා මේ පොරොන්දු ඉටු කිරීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. මැදපෙරදිග යුද්ධයට මුවා වෙලා තමන්ගේ නොහැකියාව වසා ගන්නයි ආණ්ඩුව මේ හදන්නේ” නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website