එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිතවරයා විදේශ ඇමැති විජිතට දුන් පොරොන්දුව

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සහන සේවා සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ මහතා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාට සහතික විය.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ මාර්ක් ඇන්ඩෘෘ මහතා අතර හමුවක් අද (08) අමාත්‍යංශයේ සිදුවූ අවස්ථාවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ආපදාවෙන් විපතට පත් සියලු ජනතාව සඳහා වහාම එක්සත් ජාතින්ගේ සංවිධානය ක්ෂණික ආධාර අරමුදල යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව ඇන්ඩෲ මහතා ප්‍රකාශ කළ අතර එම මුදල සංකේතාත්මකව අමාත‍්‍ය විජිත හේරත් මහතාට පිරිනැමීම ද මේ අවස්ථාවේ දී සිදු කළේය.

එක්සත් ජාතීන් කරනු ලබන ආධාර යටතේ ආහාර සුරක්ෂිතතාවය, නිවාස, පානීය ජලය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය හා ධීවර අංශ සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ඇති බවත් මේ සඳහා විස්තරාත්මක ඇගැයීමක් සිදු කිරීම පිණිස දැනමටත් OCHA සංවිධානයේ 05 දෙනෙකෙුගෙන් යුතු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඔහු  විදේශ අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට ආධාර ලබා දෙන රටවල් සමඟ කටයුතු කිරීමට නිව්යෝර්ක් සහ ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාල හරහා කටයුතු කරන බවට ද මාර්ක් ඇන්ඩෘෘ මහතා ප්‍රකාශ කළේය.

ආපදාව නිසා රටේ ජනජීවිතය, ආර්ථිකය, කෘෂි කර්මාන්තය ඇතුළු සියලු ක්ෂේත්‍රවල ඇති වූ බලපෑමෙන් යළි ගොඩනැගීම් ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තරයේ අඛණ්ඩ සහාය අවශ්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ නේවාසික එක්සත් ජාතීන්ගේ නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ මහතාට පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website