කොළඹදී පැවැති එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩාම් අද (29දා) පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වුණේ තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලියට සූදානම් වීම සඳහාය. ලබන මාසයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර දෙපාර්ශ්වයටම හිමි අවසන් ජාත්‍යන්තර විස්සයි-20 තරග මාලාව මෙය වීම නිසා මෙම තරගාවලියට විශේෂ වැදගත්කමක් හිමිව තිබේ.
මෙහිදී මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී අත්දැකීම් සහිත ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටීමේ වැදගත්භාවය පිළිබඳව අවධානය යොමු කරමින් කුසල් ජනිත් පෙරේරාව මෙම තරගාවලිය සදහා යොදාගත් බව සඳහන් කර සිටියේය.
“කුසල් ජනිත් දිගටම හිටියා. නමුත් ඔහුට පාකිස්තානු තරගාවලියේදී අවස්ථාවක් දෙන්න හම්බවුණේ නෑ. නමුත් අපි දන්නවා ලෝක කුසලාන තරගාවලියකදී අත්දැකීම් සහිත ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටීමේ වැදගත් කම. ඒ වගේම ප්‍රහාරාත්මක වේගය ගත්තොත් ඔහුට නොම්බර 5 – 6 වගේ තැන් දක්වා කුසල්ව පාවිච්චි කරන්න පුලුවන්. මම හිතනවා ඔහු ඉතාමත් උපයෝගීමත් වෙයි කියලා ලෝක කුසලාන තරගාවලියට“ යනුවෙන් දසුන් සඳහන් කර සිටියේය.
ගතවූ 2025 වසරේදී කුසල් පෙරේරා විස්සයි-20 තරගාවලි කීපයකදීම ශ්‍රී ලංකා පිල නියෝජනය කළ අතර එහිදී ඔහු එක ශතකයක් සහ අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වූවේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් 2025 වසරේදී පිතිකරුවන් දෙදෙනෙකු පමණක් විස්සයි-20 තරග අංශයේ ශතක වාර්තා කළ අතර ඉන් එක් අයෙක් වන්නේ කුසල් ජනිත් පෙරේරා වන අතර අනෙක් පිතිකරුවා වන්නේ පැතුම් නිස්සංකය.
එහෙත් ඔහු අවසන් වතාවට ක්‍රීඩා කරන ලද තරග 5 දී රැස් කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 36 ක් පමණක් බැවින් පාකිස්තානයට එරෙහි තරගාවලිය සඳහා ඔහුව කණ්ඩායමට එක් කිරීම සාධාරණීයකරණය කිරීම සඳහා තේරීම් කමිටුව ප්‍රමාණවත් දක්ෂතා නොවීය. එම තත්ත්වය නිසාම ඔහුට මෙම වසර මුලදී පාකිස්තානයට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති විස්සයි-20 තරගාවලිය මඟ හැරිණ.
ධනංජය ද සිල්වා පසුගිය තරගාවලියේදී පිටිය තුළ සහ පන්දු රැකීමේදී හොඳ දායකත්වයක් ලබාදුන් බවත්, එවැනි ක්‍රීඩකයින්ට තවත් අවස්ථා ලබාදීම වැදගත් බව දසුන් පැහැදිලි කළේය. පවන් රත්නායක ද කණ්ඩායමට ඇතුළත්ව සිටින්නේ අදේශක ක්‍රීඩකයකු ලෙසින් බවද නායකයා දක්වන ලද අදහස් වලදී සනාථ විය.
පවන්ට අමතරව ප්‍ර මෝද් මදුෂාන්ද මෙවර තරගාවලියේදී දුෂ්මන්ත චමීරගේ ආදේශක ක්‍රීඩකයා ලෙසින් කණ්ඩායමට එක්ව සිටින බවද හෙට තරගය සදහා අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී දසුන් සඳහන් කර සිටියේය. “වර්ඩ්ල් කප් එක ඉස්සරහට තියෙන නිසා දුෂ්මන්ත චමීරව මැනේජ් කරන්න ඕන. මොකද චමීරව අපිට දාල බලලා අමුත්වෙන් එයා මොනවද කරන්නේ කියලා හොයන්න ඕන නෑ. ඒ නිසා බැක්අප් විදියට ක්‍රීඩකයෙක් ඉන්න ඕන. ඒක නිසා තමයි ප්‍ර මෝද් කණ්ඩායමට ඇවිල්ලා ඉන්නේ“ යැයි දසුන් අවධාරණය කරයි.
කමිඳු මෙන්ඩිස් සංචිතයට නොඇතුළත් වීම පිළිබඳව අදහස් දක්වමින් දසුන් කියා සිටියේ එය තේරීම් කමිටුව ගත් සාමූහික තීරණයක් බවත්, කමිඳු වටිනා ක්‍රීඩකයෙකු වුවද මෙම අවස්ථාවේදී කණ්ඩායම් සමතුලිතතාව සලකා බැලීමෙන් එම තීරණය ගත් බවත්ය.
ආරම්භක පිතිකරුවන් සම්බන්ධයෙන්, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක සහ කමිල් මිෂාර යන තිදෙනාම විවිධ අවස්ථාවල යොදාගත හැකි බවත්, තරුණ ක්‍රීඩකයින්ට අවස්ථා ලබාදීම අනාගත සැලසුම්වල අත්‍යවශ්‍ය කොටසක් ලෙසින් සලකා කමිල් මිශාරව කණ්ඩායමේ රඳවා ගැනීමට කටයුතු කරන බවද නායකයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව මේ වසරේ තම රටේදී සහ සම – සංවිධානය කරනු ලබන විස්සයි-20 ලෝක කුසලානයේ ශක්තිමත් තරඟකරුවකු ලෙස ඉදිරිපත් විය හැකි බව හිටපු එංගලන්ත නායක නසර් හුසේන් සඳහන් කර තිබේ. එයට ප්‍රතිචාර දක්වමින් ශානක කියා සිටියේ, “නසර් හුසේන් වැනි ක්‍රීඩකයෙකුගෙන් එවැනි ප්‍රකාශයක් ලැබීම අපට විශාල ආත්මවිශ්වාසයක්. නමුත් අපට වැදගත් වන්නේ ක්‍රියාවලිය සහ ආරම්භක තරගවලදී සාර්ථක ලෙස ක්‍රීඩා කිරීමයි,” යනුවෙනි.
පල්ලෙකැළේට පැමිණ සිටින සංචිතය 16 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ලෝක කුසලාන මූලික සංචිතයේ අනෙක් ක්‍රීඩකයින් කොළඹදී පුහුණුවීම් සිදුකරමින් සිටින බවද නායකයා සඳහන් කළේය. “පවන් රත්නායක හොඳ පන්දු රකින්නෙක්. මේක ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලානයක් වීම නිසා, අවශ්‍යතාවක් ඇතිවුණොත් ක්‍රීඩකයෙකු ඇතුළට ගේන්න අපට පහසුයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් කීය.
ශ්‍රී ලංකා–එංගලන්ත පළමු විස්සයි-20 තරගය හෙට (30දා) පල්ලෙකැළේදී පැවැත්වීමට නියමිත අතර, ලෝක කුසලානයට පෙර දෙපාර්ශ්වයේ සූදානම පරීක්ෂා වන වැදගත් තරග මාලාවක් ලෙස මෙය සැලකේ.
මූලාශ්‍රය – හ්‍රී ලංකා













