ඉන්දියන් සාගරයේදී ඇමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකින් විනාශ වී ගිලී ගිය ඉරාන IRIS Dena යුද්ධ නෞකාවේ සිට දිවි ගලවා ගත් පිරිස මෙන් ම ශ්‍රී ලංකාව භාරයේ පසුවන IRIS Bushehr ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩලය ආපසු ඉරානයට නොයවන ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සිටින බව අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තු රහස්‍ය පණිවුඩයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙන බව බීබීසී සිංහල සේවය පවසයි.
මේ අතර ශ්‍රී ලංකා රජය භාරයේ සිටින ඉරාන ජාතිකයින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසා තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, නවදිල්ලි නුවර පැවැත්වෙන ‘රයිසිනා සංවාදයේදී’ පල්කි ෂර්මා නම් මාධ්‍යවේදිනිය විසින් යොමු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
“මෙම ඉරාන ජාතිකයින් නැවත ඉරානය වෙත යවනවා ද? නැතිනම් ඔවුන් භාර දෙන ලෙස හෝ තම රට අත් හැරීමට ඔවුන් දිරිමත් කරන ලෙස එක්සත් ජනපදයෙන් පීඩනයක් එල්ල වන්නේ ද?” යනුවෙන් ෂර්මා විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළාය.
ඇයගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය අනුව කටයුතු කරන බවත් මෙම සිදුවීමේදී පවා ඒ අනුව ක්‍රියා කර ඇති බවත් ය. මේ දක්වා ගෙන ඇති සියලු පියවර ගෙන ඇත්තේ ද ජාත්‍යන්තර නීතිය අනුව බව ද විජිත හේරත් පැවසුවේය.
ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයකට සහය නොදක්වන බවත් මානුෂීය ආකාරයෙන් පියවර ගෙන ඇති බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් වැඩි දුරටත් පැවසුවේය.
බීබීසී වාර්තා ඇසුරිනි











