ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේ දී නොවන නමුත් නාවිකයින්ගේ ජීවිත බේරා ගැනීම වගකීමක් වන බැවින් නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුම සිදුකළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (04) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
මෙම නෞකාව ගිලෙමින් පවතින බවට අද උදෑසන 5.08ට පමණ නාවික හමුදාවට ලද පණිවුඩයක් අනුව බේරාගැනීමේ මෙහෙයුම් දියත් කළ බව ද අමාත්‍යවරයා පැවසීය.
අනතුරට පත් නෞකාවේ 180ක පිරිසක් සිට ඇතැයි වාර්තා වන බව කී විදේශ අමාත්‍යවරයා ඉන් 32 දෙනෙකු නාවික හමුදාව විසින් මුදා ගෙන මේ වන විට කරාපිටිය රෝහල වෙත රැගෙන විත් ඇති බව ද පැවසුවේය.
මේ අතර ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ අනතුරට පත් නෞකාවෙන් මුදා ගත් නාවිකයින් ගාල්ල, කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.











