ඉහළ ඡායාරූපය – 1950 දී ජෙරුසලමේදී එවකට ඊශ්‍රායල අගමැති ඩේවිඩ් බෙන්-ගුරියන් සමඟ මධ්‍යයේ ඉරාන රාජ්‍ය තාන්ත්‍රික රේසා සෆිනියා කතාබහක. ඡායාරූපය – ඊශ්‍රායල රජයේ මාධ්‍ය කාර්යාලය

- එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානය ආක්‍රමණය කිරීමට හේතු වුණ මතවාදී පදනම සහ එහි ඓතිහාසික විකාශනය කුමක් ද ?
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දීමට, නැතිනම් ආක්‍රමණය කිරීමට ගත් තීන්දුවට ඓතිහාසික මතවාදී පදනමක් තිබෙනවා. ඒ අනුව මේ ආක්‍රමණය පසුගිය පෙබරවාරී 28 වැනිදා ආරම්භ කළ ආක්‍රමණයට වඩා එහා ගිය එකක් ලෙස සැලකිය යුතුයි. මීට අවුරුදු දහස් ගණනකට කලින් වත්මන් ඉරානය සහ පලස්තීනය ඇතුළත් කලාපයේ යුදෙව් ජනාවාස තිබුණා, යුදෙව්වෝ ආරාබීන් සහ පර්සියන් ජාතිකයින් සමඟ සහයෝගයෙන් ජීවත් වුණා. වාර්ගික ගැටුම් හෝ භූමිය පිළිබඳ ප්‍රශ්න තිබුණේ නැහැ.
නමුත් රෝම අධිරාජ්‍ය මේ ප්‍රදේශ ආක්‍රමණය කළා. මේ ප්‍රදේශ රෝම අධිරාජ්‍යයට යටත් වුණා. මේ ආක්‍රමණයත් සමඟ දේශීය ප්‍රජාවන්ගේ ආගමික මධ්‍යස්ථාන විනාශයට පත් වුණා, ඔවුන්ගේ ආගම, සංස්කෘතිය ඇතුළු සමස්ත පැවැත්ම විශාල පරිහාණියකට පත් වුණා. මේ ආක්‍රමණය සමඟ යුදෙව්වෝ ලෝකය පුරා සංක්‍රමණය වුණා. විශාල පිරිසක් යුරෝපයට සංක්‍රමණය වුණා. රෝම ආක්‍රමණයෙන් සියවස් ගණනාවකට පසු මේ කලාපය ඔටෝමන් අධිරාජ්‍යයේ පාලනයට යටත් වුණා. තවත් සියවස් ගණනාවක් මේ කලාපයේ පාලනය ඔටෝමන් අධිරාජ්‍යය යටතේ තිබුණා.
නමුත් පළමු වැනි ලෝක යුද්ධය අවසන් වන විට එහි ප්‍රතිඵලයක් ලෙස ඔටෝමන් අධිරාජ්‍යය බිඳ වැටුණා. ඒ සමඟ මෙම කලාපයේ වගකීම, බලය මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතට පත් වුණා. මේ කාලය තුළ යුදෙව්වන් සහ අරාබීන් අතර වාර්ගික හා ආගමික ගැටුම් වර්ධනය වෙමින් පැවතුණා. මේ වන විට ගෝලීය බලවතා වුණ බ්‍රිතාන්‍ය අරාබි – යුදෙව් ගැටුම විසඳීමට මැදිහත් වුණා. බ්‍රිතාන්‍යයේ සැලසුම වුණේ යුදෙව්වන්ට එක රාජ්‍යයක් සහ පලස්තීන ජනතාවට තවත් රාජ්‍යයක් ලෙස වත්මන් ඊශ්‍රායල් සහ පලස්තීන භූමිය වෙන් කිරීමයි. මේ සැලසුම 1920 ගණන් වල ක්‍රියාත්මක වුණා. මේ සැලසුම ක්‍රියාත්මක වීමත් සමඟ යුරෝපය පුරා විසිරී සිටි යුදෙව්වෝ යළිත් තමන්ගේ මුල් බිමට, ඊශ්‍රායලයට සංක්‍රමණය වීමට පටන් ගත්තා. මේ ආකාරයෙන් යළි සංක්‍රමණය වුණේ යුරෝපයේ සිටි ධනවත්, උගත් යුදෙව්වෝ. මේ සංක්‍රමණික යුදෙව්වෝ මේ කලාපයේ ජීවත් වන සාම්ප්‍රදායික අරාබීන්ගෙන් ඉඩම් මිලදී ගෙන ජනාවාස ආරම්භ කළා. මේ වන විට ‘යුදෙව්වන්ට වෙනම රාජ්‍යක්’ බිහි කර ගැනීම වෙනුවෙන් ‘සියොන්වාදය / Zionism ආරම්භ වුණා. සියොන්වාදය කියලා කියන්නේ 19 වන සියවසේ අගභාගයේ යුරෝපයේ ආරම්භ වූ දේශපාලන හා දෘෂ්ටිවාදාත්මක ව්‍යාපාරයක්. එය යුදෙව් ජනතාවට ස්වයං නිර්ණය කිරීමේ අයිතිය සහ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ නිජබිමෙහි යුදෙව් ජාතික රාජ්‍යයක් (ඊශ්‍රායලය) ස්ථාපිත කිරීම / සහාය දීම වෙනුවෙන් පෙනී සිටියා. එය සියවස් ගණනාවක් පුරා පැවති පීඩාවන්ට ප්‍රතිචාරයක් ලෙස මතු වූ අතර, යුදෙව්වන්ට ආරක්ෂිත ස්ථානයක් සැපයීමේ අරමුණින් මෙය වඩාත් සක්‍රීය තත්ත්වයට පත් වුණා.
මේ කලාපයට විශාල වශයෙන් සිදු වුණ යුදෙව් සංක්‍රමණය පාලනය කර ගන්න බ්‍රිතාන්‍යයට නොහැකි වුණා. ඒ අතර මහා බ්‍රිතාන්‍ය මේ කලාපයෙන් ක්‍රමිකව ඉවත් වුණා. මේ අතරේ 1939 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණා. හිට්ලර්ගේ යුදෙව් සංහාරය හේතුවෙන් ගෝලීය වශයෙන් යුදෙව්වන්ට අනුකම්පාවක් ලැබුණා. ඔවුන්ට වෙනම රටක් තිබිය යුතුයි කියන අදහස තවත් වර්ධනය වුණා.
දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ ගැටලුවට විසඳුමක් සෙවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාර දුන්නා. එක්සත් ජාතීන්ගේ පූර්ණ අනුමැතිය යටතේ විසඳුමක් ඉදිරිපත් වුණා. ඒ විසඳුම තමයි යුදෙව්වන්ට වෙනම රාජ්‍යයක් සහ අරාබීන්ට වෙනම රාජ්‍යයක් පිහිටුවීම. මේ යෝජනාවට අරාබීන්ගෙන් සැලකිය යුතු සහායක් ලැබුණේ නැහැ. 1947 නොවැම්බර් 29 වන දින මහා සභාව විසින් 181 (II) යෝජනාව සම්මත කළා. අරාබි ලීගය සහ පලස්තීනයේ අරාබි උසස් කමිටුව, බෙදීමේ සැලැස්ම ප්‍රතික්ෂේප කළා. ඔවුන් ඒකට හේතු වශයෙන් ඉදිරිපත් කළේ මේ බෙදීමේ සැලැස්ම පලස්තීනුවන්ගේ අවශ්‍යතාවලට වඩා යුරෝපීය අවශ්‍යතාවලට වරප්‍රසාද ලබා දෙන බවයි. ඒ වගේම වෙනත් ඕනෑම බෙදීමේ සැලැස්මක් ඔවුන් ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රකාශ කළා.
1948 මැයි 14 වන දින යුදෙව් ප්‍රධානියා වූ ඩේවිඩ් බෙන්-ගුරියන් , “එරෙට්ස්-ඊශ්‍රායලයේ යුදෙව් රාජ්‍යයක් පිහිටුවීම” ප්‍රකාශ කළා. නමුත් පසුදා, අරාබි රටවල් හතරක් (ඊජිප්තුව, සිරියාව, ට්‍රාන්ස්ජෝර්ඩන් සහ ඉරාකය) අරාබි-ඊශ්‍රායල් යුද්ධය ආරම්භ කළා. ඊට පසුව යේමනය, මොරොක්කෝව, සෞදි අරාබිය සහ සුඩානය යන රටවලින් පැමිණි හමුදා යුද්ධයට එක් වුණා. මෙම ආක්‍රමණයේ අරමුණ වූයේ යුදෙව් රාජ්‍යය පිහිටුවීම වැළැක්වීමයි. වසරක සටනකින් පසු, සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලද අතර හරිත රේඛාව ලෙස හැඳින්වෙන තාවකාලික දේශසීමා ස්ථාපිත කළා.
1948 සිට ඇති වුණ සෑම යුද්ධයකින්ම (1967, 1973, 2023) ඊශ්‍රායලය ජයග්‍රහණය කළා. ඒ වගේම ඒ සෑම අවස්ථාවකදීම ඊශ්‍රායලය අනෙක් රටවල භූමිය ඈදා ගත්තා. ඒ අනුව ක්‍රමිකව ඊශ්‍රායලයේ භූමිය ප්‍රසාරණය වුණා. ඊශ්‍රායලය කියන්නේ කිසිම දේශසීමාවක් නැති රටක් ‘පාවෙන දේශසීමාවක්’ සහිත රටක්. දේශපාලන අර්ථයෙන් ගත්තොත් ඊශ්‍රායලය කියන්නේ ව්‍යාප්තවාදී රාජ්‍යයක්. ඒ කියන්නේ ආක්‍රමණශීලීව අසල්වැසි රටවල්වල භූමි ප්‍රදේශ ඈදා ගැනීම අරමුණු කර ගත්ත ප්‍රතිපත්තියක් තමයි ඊශ්‍රායලයට තිබෙන්නේ.
- මැදපෙරදිග කලාපය ජාත්‍යන්තර දේශපාලනයේ දී, භූ දේශපාලනයේ දී වැදගත් වෙන්නේ කොහොම ද ?
ඉරානය ද ඇතුළත් මැදපෙරදිග කලාපය ඓතිහාසිකව ගෝලීය දේශපාලනයට, ආර්ථිකයට, සංස්කෘතියට දැවැන්ත බලපෑමක් කරලා තිබෙනවා. මේ කලාපය ‘අන්තර් මහද්වීපික කලාපයක් ’ ලෙසයි සැලකෙන්නේ. බටහිර අප්‍රිකාවේ කොටසක් මේ කලාපයට අයත් වෙනවා. රටවල් 20කට ආසන්න ප්‍රමාණයක් මේ කලාපයේ තිබෙනවා. මිලියන 450කට අධික ජනගහනයක් මේ කලාපයේ ජීවත් වෙනවා. මේ අතරින් මිලියන 350ක් අරාබිවරු (ඉස්ලාම්) වන අතර මිලියන 60ක් කතෝලිකයින් වන අතර මිලියන 10ක් යුදෙව්වන්. ඒ වගේම ක්‍රිස්තියානි ආගමක සහ ඉස්ලාම් ආගම, යුදෙව් ආගම සම්භවය වුණේ මේ කලාපයේ. මේ අනුව මැදපෙරදිග කලාපයේ මානව ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික මධ්‍යස්ථානයක් ලෙස මේ කලාපය සැලකෙනවා. ඒ වගේම ඓතිහාසිකව ද මේ කලාපය ආර්ථිකමය වශයෙන් සුවිශේෂ භූමිකාවකට හිමිකම් කියනවා. 20 වන සියවසේ ඛනිජ තෙල් සොයා ගැනීමත් සමඟ මේ කලාපයේ ආර්ථික හා භූ දේශපානික වැදගත්ම ඉහළ තලයකට පැමිණියා. මහා බලවතුන්ගේ අවධානය මේ කලාපයට යොමු වුණා වගේම ඔවුන්ගේ බල අරගලයේ කෙළිබිමක් බවටත් මේ කලාපය පත් වුණා.
- ඉරානය සහ ඊශ්‍රායලය අතර සම්බන්ධතා ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
ඊශ්‍රායලය බිහි වූ දා සිට අරාබි රටවල් ඊශ්‍රායලය ‘පොදු හතුරා’ ලෙස සලකා කටයුතු කළත් ඉරානය සමඟ ඉතාම සමීප සම්බන්ධතාවක්, මිත්‍රත්වයක් ඊශ්‍රායලයට තිබුණා. ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගත් දෙවන රට තමයි ඉරානය. ආරම්භයේ දී ඊශ්‍රායලය සහ ඉරානය අතර තිබුණේ ඉතාම හොඳ සම්බන්ධතාවක්. ආර්ථික, අධ්‍යාපනික, තාක්ෂණික වශයෙන් දෙරට අතර සම්බන්ධතා තිබුණා. ඉරාන විප්ලවය සිදුවන තෙක් මේ සම්බන්ධතා තිබුණා. නමුත් 1979 දී සිදු වුණ ඉරාන විප්ලවයෙන් පස්සේ මේ සම්බන්ධතා සම්පූර්ණයෙන්ම කණපිට හැරුණා. 1979 සිට ක්‍රමිකව වර්ධනය වූ ආතතිය, සැකය සහ බිය තමයි වර්තමානයේ දැවැන්ත යුද්ධයක් බවට පත්වෙලා තිබෙන්නේ.
- ඉරාන විප්ලවය සහ එහි පශ්චාත් බලපෑම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
නූතන ඉරානයේ තිබුණේ සාර් පාලනයක්. මේ පාලනය බටහිරට ලැදි සහ ගැති, බටහිර සංස්කෘතිය වැළඳගත් නිදහස් සහ ලිබරල් ක්‍රමයක් තමයි තිබුණේ. ඔවුන් එක්සත් ජනපදය ද ඇතුළු බටහිර රටවල් සමඟ ඉතාම සමීප සම්බන්ධතා පවත්වා ගෙන ගියා. නමුත් බටහිරකරණය සම්බන්ධයෙන් අරාබියේ, විශේෂයෙන් ඉරානයේ බලවත් විරෝධයක් වර්ධනය වෙමින් තිබුණා. මේ විරෝධයේ කේන්ද්‍රය බවට ෂා රජුගේ පාලනය පත් වුණා. මේ පසුබිම තුළ ඉරානයේ ආගමික නායකත්වය, ආධ්‍යාත්මික නායකත්වය ක්‍රමිකව වර්ධනය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 1979 දී ඉරාන ඉස්ලාම් විප්ලවය ජයග්‍රහණය කළා. ලෝකයේ මුල්ම ඉස්ලාම් රාජ්‍යය බිහි වුණා. ඒ සමඟ බටහිර සමඟ තිබුණ සම්බන්ධ, විශේෂයෙන් ඊශ්‍රායලය සමඟ තිබුණ සම්බන්ධතා සම්පූර්ණයෙන් වෙනස් වුණා. මේ තත්ත්වය කොතරම් තීව්‍රර වුණා ද කියනවා නම් ඉරානය එක්සත් ජනපදය හැඳින්වීමට ‘මහා සාතන් / යක්ෂයා’ කියන නම සහ ඊශ්‍රායලය හැඳින්වීමට ‘කුඩා සාතන්’ කියන නම භාවිතා කළා. ඉරානයේ නව පාලනයේ අදහස වුණේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉස්ලාමයට සහ ඉස්ලාම් ශිෂ්ටාචාරයට, සභ්‍යත්වයට විශාල තර්ජනයක් බවයි. මේ අදහස ඉරාන ආධ්‍යාමික නායකත්වයේ දෘෂ්ටිවාදී කේන්ද්‍රය බවට පත් වුණා. නමුත් ඉරාන විප්ලවය ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට අද දක්වා දේශපාලන සහ යුදමය වශයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. ඊශ්‍රායලයට මිහිමතින් අතුගා දැමීම අරමුණු කරගත් බටහිර විරෝධී පාලනයක් මේ හරහා ස්ථාපිත වුණා.
- ඉරානය න්‍යෂ්ටික අවි වෙත යොමු වුණේ ඇයි ?, ඒකට බලපෑ භූ දේශපාලන සාධක මොනවා ද ?
ඉරානය න්‍යෂ්ටික බලශක්තිය වෙත අවතීර්ණය වුණේ 1950 දශකය තරම් ඈත කාලයකයි. මුල් කාලීනව මේ වැඩපිළිවෙළට ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපදයේ සහාය ලැබුණ බව වාර්තා වෙනවා. ඉරානය විප්ලවයෙන් පසු මේ ගැන වැඩි අවධානයක් යොමු නොවුණත් හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ පාලන සමයේ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාධනීය තත්ත්වයක් තිබුණා. තමන් සාමකාමී අරමුණු වෙනුවෙන් න්‍යෂ්ටික බලගැන්වීම් කරන බව ඉරානය කිව්වා. ඒ අනුව ඉරානය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර සමග සහයෝගයෙන් කටයුතු කළා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලනය තුළ මේ අවබෝධය. සම්පූර්ණයෙන් විනාශ වුණා. සංවාදය නතර වුණා. ඉරානය බොහොම රහසිගතව න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරන බවට ඇමෙරිකාව දිගින් දිගටම චෝදනා කළා. ඒ වගේම ඉරානය සතුව න්‍යෂ්ටික අවි තිබෙන්න පුළුවන් කියන මතයක් ගොඩනැගුවා. නමුත් රුසියාව ඇතුළු බොහෝ රටවල් මේ කතාව පිළිගන්නේ නැහැ. ඔවුන් ඉතාම පැහැදිලිව ඇමෙරිකාවේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. අදත් ඉරානය සතුව න්‍යෂ්ටික අවි තිබෙන බවට පිළිගත හැකි සාක්ෂියක් ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරලා නැහැ.
- ඇමෙරිකාව මේ ආකාරයෙන්ම ඉරාකයටත් චෝදනා කළා නේද ?
ඔව් ඉරාකයේ සදාම් හුසේන් පාලනය පෙරළා දමන්නත් ඇමෙරිකාව මේ ආකාරයේ චෝදනා ඉදිරිපත් කළා. ඒ මතය අනුව කටයුතු කරමින් සදාම් හුසේන්ව ඝාතනය කරලා ඉරාකය අවුල් ජාලයකට ඇද දමන්න ඇමෙරිකාව කටයුතු කළා.
- ඇමෙරිකාව මැදපෙරදිග කලාපයේ දැවැන්ත යුද බලයක් පවත්වා ගෙන යන්නේ ඇයි ?
ඒකට භූ දේශපාලනික හේතු ගණනාවක් තිබෙනවා. වර්තමානය වන විට මේ කලාපයේ ඇමෙරිකානු හමුදා කඳවුරු 19ක් තිබෙනවා.
- ඉරානය සතු දැවැන්ත ඛනිජ තෙල් සම්පත් සහ ඇමෙරිකානු තර්ජන අතර සම්බන්ධයක් තිබෙනවා ද ?
ඉරානය නිදහස ලබන විට එරට තුළ තිබුණ ඛනිජ තෙල් කර්මාන්තය පාලනය කළේ බටහිර සමාගම්. නමුත් නිදහසින් පසු ඉරානය මේ සමාගම් ජනසතු කළා. මේක බටහිර සමාගම්වලට බලවත් පහරක් වුණා. තෙල් සමාගම් ජනසතු කිරීම සම්බන්ධ කෝපය සහ යළි ඉරානයේ තෙල් සම්පත අත්පත් කර ගැනීම වත්මන් යුද්ධය පසුපස තිබෙන තවත් ප්‍රබල සාධයක් ලෙස සැලකිය හැකියි. ඉරානයේ වත්මන් පාලනය වෙනස් කළොත් යළිත් එරට ඛනිජ තෙල්වල පාලනයට අතට ගන්න පුළුවන් කියලා ඇමෙරිකානු සමාගම් කල්පනා කරනවා. මේ තත්ත්වයම තමයි පසුගිය දා වෙනිසියුලාවට වුණේ.
- ඊශ්‍රායලය ඇයි බොහෝ දුරින් තිබෙන ඉරානය සමඟ මේ තරම් වෛරයකින් පසුවෙන්නේ ?
මම මුලින් කිව්වා වාගේ ඊශ්‍රායලයේ මුල් කාලී මිතුරෙක් වුණ ඉරානය පසුකාලීනව, ඉස්ලාම් විප්ලවයෙන් පසු ඊශ්‍රායලයේ ප්‍රධාන හතුරා බවට පත් වුණා. ඊශ්‍රායලයට පසුගිය කාලය පුරාම බලවත් සැකයක් තිබුණා ඉරානය න්‍යෂ්ටික බලය අත්පත්කර ගෙන, බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන තාක්ෂණය ඇතුළු නවීන යුධ තාක්ෂණය හරහා ඊශ්‍රායලට ආක්‍රමණය කරයි කියලා. මේ භීතිය දේශපාලන යථාර්ථයක් කරන්න වත්මන් ඊශ්‍රායල් පාලනය සමත් වුණා. ඒ වගේම ට්‍රම්ප් පාලනයත් ඊශ්‍රායල් මතය පිළිගත්තා. ඊශ්‍රායලය කියන්නේ මැදපෙරදිග කලාප අස්ථාවරව තබා ගැනීමට බටහිර විසින් නිර්මාණය කළ ආයුධයක්. මේ කලාපයේ තිබෙන බලශක්ති සම්පත් කොල්ල කන්න, සූරා කන්න, භූ දේශපාලනික ආධිපත්‍ය පවත්වා ගෙන යන්න බටහිරට දේශපාලන අස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. බටහිර ඒ අවශ්‍යතාව තමයි ඊශ්‍රායලය ඉටුකරන්නේ.
- ඇමෙරිකාව, ට්‍රම්ප් මේ ආකාරයෙන් රටවල් ආක්‍රමණය කිරීමට එරෙහිව ඇයි ගෝලීය අභියෝගයක් විරෝධයක් වර්ධනය නොවෙන්නේ ?
ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ආවේ යුද්ධ නතර කරනවා කියලා. අලුත් යුද්ධ නැහැ කියලා. නමුත් ඔහු දුන්න පොරොන්දුව ඉටු කළේ නැහැ. ඒ වෙනුවට ඔහු රටවල් 07කට මේ වන විට ප්‍රහාර එල්ල කරලා තිබෙනවා. නමුත් මේ වන විට ඇමෙරිකාව තුළ බරපතළ ලෙස ට්‍රම්ප් විරෝධය වර්ධනය වෙලා තිබෙනවා. ඉරාක ආක්‍රමණයට තිබුණ මහජන මතය ඉරාන ආක්‍රමණයට නැහැ. ඇමෙරිකානුවන්ගෙන් බහුතරයක් මේ ආක්‍රමණයට විරුද්ධයි. ඇමෙරිකාවේ අභ්‍යන්තරයෙන්, සෙනෙට් මණ්ඩලයෙන් ඉරාන ආක්‍රමණය සම්බන්ධයෙන් බරපතළ විරෝධයක් තිබෙනවා. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සූදානමක් තිබෙනවා. ඇමෙරිකාවේ තත්ත්වය මේ ආකාරයේ වුණත් බටහිර මාධ්‍ය මේ ආක්‍රමණය උත්කර්ෂයට නංවා තිබෙනවා. ඉරානයට කරන විනාශය ලෝකයට සඟවනවා.
රතුඉර පුවත්පතේ 2026 මාර්තු 08 වැනි දින කලාපයේ ප්‍රකාශයට පත් වූ ලිපියකි.
සටහන – භාතිය බරුකන්ද













