ඉරානය පිළිබඳ ආරක්ෂක මණ්ඩල ‘අසමතුලිත’ යෝජනාවට ශ්‍රී ලංකාව සහාය නොදැක්වූ බව විදේශ ඇමැති කියයි

අරාබි ගල්ෆ් රාජ්‍යයන්ට ඉරානය එල්ල කරන ප්‍රහාර හෙළා දකින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවට ශ්‍රී ලංකාව සහාය නොදක්වන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසීය.

අද (19)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විදේශ අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව කුඩා රටක් වුව ද දැඩි ස්ථාවරයක් ගෙන ඇති බවයි.

“අපි ඉතා පැහැදිලිවම ලෝක සාමය සඳහා උත්සාහයන්හි නියැලී සිටිනවා. පසුගිය දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කළා. එම යෝජනාව සමබර එකක් නොවුණත් රටක් ලෙස, අපි කුඩා වුවත්, අසමතුලිත යෝජනාවලට සහාය නොදක්වන බවට අපි ස්ථිර සහ පැහැදිලි තීරණයක් ගත්තා” විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

2026 මාර්තු 11 වන දින, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අරාබි ගල්ෆ් රාජ්‍යයන්ට සහ ජෝර්දානයට එල්ල කරන “දරුණු ප්‍රහාර” සම්බන්ධයෙන් ඉරානය හෙළා දකිමින්, වහාම සටන් විරාමයක් ඉල්ලා සිටි යෝජනාවක් සම්මත කළේය. එක්සත් ජනපද/ඊශ්‍රායල ක්‍රියාමාර්ග පිළිබඳ සඳහනක් නොමැතිකම හේතුවෙන් එය “අසමතුලිත” යැයි සඳහන් කරමින් ශ්‍රී ලංකාව තවත් රටවල් කිහිපයක් සමඟ යෝජනාවට අනුග්‍රහය දැක්වීමට එක් නොවීය.

මේ සම්බන්ධයෙව් විදේශ අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය, “දෙපාර්ශ්වයම වගකිව යුතුයි. යුද්ධය ආරම්භ කිරීමට සම්බන්ධ වූ දෙපාර්ශ්වයම වැරදි කර තිබෙනවා. එබැවින්, මෙය එක් පාර්ශ්වයකට පමණක් දොස් පැවරිය නොහැකියි. යුද්ධය නැවැත්වීමට නම්, ස්ථාවර ස්ථාවරයක් පවත්වා ගත යුතුයි” විදේශ අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website