ඉරානය අපේ කෘතවේදීත්වය ලැබිය යුතු මිතුරෙක් – නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

ඉරානයට එරෙහිව අමෙරිකා – ඊශ්‍රායල් ඒකාබද්ධ ප්‍රහාරය හමුවේ මේ වන විට මැදපෙරදිග කලාපය සම්පූර්ණයෙන්ම අස්ථාවර වී තිබෙනවා. එහි බලපෑම සමස්ත ලෝකයටම දැනෙමින් තිබෙනවා. විශේෂයෙන් ඉන්ධන, ගෑස් සැපයුම සහ මිල ඉහළ යාම සම්බන්ධයෙන් බරපතළ අවදානමක් තිබෙනවා. ඒ වගේම මේ යුද්ධය කලාපීය වශයෙන් පැතිර යාමේ පැහැදිලි අවධානමක් තිබෙනවා. ඉරානය කියන්නේ ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක්. ඒ වගේම ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර සම්මුතීන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇතිකර එකඟතාවයන් ඇතුළු ශිෂ්ට ලෝකය පිළිගන්න සියලුම වටිනාකම්, මූලධර්ම ගැන කිසිම තැකීමකින් තොරව තමයි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දැවැන්ත හා අති අමානුෂික යුද්ධයක් කරන්නේ. ඉරානයේ යම්කිසි ආකාරයක ගැටලුවක් තිබෙනවා නම් ඒක නිරාකරණය කර ගැනීමේ අයිතිය තිබෙන්නේ ඉරාන ජනතාවට.

ඔබ ඇහුවා මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මගේ අදහස. අපි දකිනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉතාම දියාරු ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. ජනාධිපතිවරයා පසුගිය 03 වැනි දා පාර්ලිමේන්තුවට පැමිණ කළ දීර්ඝ කතාව තුළින්ම ඒ බව පැහැදිලිව ප්‍රකාශ වෙනවා. ජනාධිපතිවරයා කියනවා ‘යුද්ධය නතර කරන්න’ කියලා. ඒක කිසිම අදාළත්වයක් හෝ වටිනාකමක් නැති ප්‍රකාශයක්. මේ යුද්ධය ආරම්භ කළේ ඉරානය නොවෙයි. මේක ආරම්භ කළේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය. යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්වලින් යුද්ධය අවසන් කරන්න කියලා ඉල්ලනවට වැඩිය මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිට ආණ්ඩුව තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. නමුත් ඒක වෙලා නැහැ. මේක කණගාටුදායක කාරණයක්.

ඉරානය කියන්නේ ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිත්‍රයෙක්. බෙදුම්වාදයට එරෙහි යුද්ධයේ දී ඉරානය ශ්‍රී ලංකාව විශාල සහායක් ලබා දුන්නා. ඒ වගේම ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිෂමට ඉදිපත් වූ යෝජනාවලදී ඉරානයට ශ්‍රී ලංකාවට සහාය දුන්නා. ඒක අපි අමතක නොකළ යුතු දෙයක්. ඒ වගේම මැදපෙරදිග කලාපය අපේ ප්‍රධාන තේ ගැනුම්කරුවන් බවට පත්ව සිටිනවා. ශ්‍රී ලංකාව සිය තේ නිෂ්පාදන ප්‍රධාන වශයෙන් ඉරාකය, තුර්කිය, ෙඑක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, සිරියාව සහ සෞදි අරාබිය වැනි මැදපෙරදිග රටවල් වෙත අපනයනය කරනවා. යම්කිසි ආකාරයකින් මැදපෙරදිග කලාපය දීර්ඝ කාලීන යුද්ධයකට ගියොත් එය අපේ තේ අපනයනයට ඍජුව බලපාන්න පුළුවන්. ඒ වගේම මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මිලියන දෙකකට ආසන්න පිරිමක් සේවය කරනවා. කලාපීය අස්ථාවරත්වය ඍජුව මේ රැකියාවලට බලපාන්න පුළුවන්. මෙහි දී ආර්ථික සංවර්ධනයේ දී ඉරානය අපට ලබා දුන් සහාය අමතක කළ නොහැකි යි. ඉරානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වන අතර, විශේෂයෙන්ම බලශක්ති, යටිතල පහසුකම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍රවල සහාය ලබා දී තිබෙනවා. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ආධාර මත ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඉරානය විසින් ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ ක්ෂේත්‍රයේ ආයෝජන සහ මූල්‍යමය සහයෝගීතාවය ලබාදී තිබෙනවා. ඉරානයට දැඩි ආර්ථික සම්බාධක පනවා තිබූ තත්ත්වයක දී වුණත් ණය සහන සහ සහයෝගීතාවයන් ලබා දී තිබෙනවා. ඒ නිසා ඉරානය කියන්නේ ශ්‍රී ලංකාවට කිසිම ආකාරයකින් අමතක කළ නොහැකි මිත්‍රයෙක්. අසීරු අවස්ථාවේ උපකාරයට පැමිණි මිතුරෙක්. මම මෙහි දී ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අවතක්සේරු කරන්නේ නැහැ.

පැහැදිලිව නැහැ. මේ ආණ්ඩුවේ ධාරිතාව, හැකියාව සම්බන්ධ බරපතළ ගැටලුවක් තිබෙනවා. පසුගිය දිනවල ඇති වුණ ඉන්ධන පෝලිම් ඒකට හොඳම උදාහරණයක්. ඒ වගේම ගෑස් හිඟය. ගෑස් හිඟයක් ඇති වුණේ මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් නොවෙයි. ඒක ඍජුව ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් නිර්මාණය වුණ අර්බුදයක්. ඒ නිසා අනපේක්ෂිත ලෙස මේ අර්බුදය ඉදිරියට ගියොත් ආණ්ඩුව දැඩි අර්බුදයකට යන එක නතර කරන්න බැහැ.

ජනාධිපතිවරයා එකවරක් නොවෙයි අවස්ථා ගණනාවක දී මේ ආකාරයෙන් රට හෑල්ලු වන, සිංහල බෞද්ධ ජනතාව හෑල්ලු වන ප්‍රකාශ කළා. මේවැනි ප්‍රකාශ රාජ්‍ය නායකයා පමණක් නොවෙයි කිසිම ශ්‍රී ලාංකිකයෙක් නොකළ යුතු ප්‍රකාශ. අපි මේ ප්‍රකාශය දැඩිව හෙළා දකිනවා. ඒ වගේම ගෑස් ගබඩා කරන්න පහසුකම් නැහැ, ඉන්ධන ගබඩා කරන්න පහසුකම් නැහැ කියලා ජනාධිපතිවරයා පසුගිය ආණ්ඩුවලට දෝෂාරෝපණයක් කළා. නමුත් මේ සියලු අර්බුදය නිර්මාණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඍජුව දායක වුණා. සංවර්ධන ව්‍යාපෘති ඇතුළු සියලුම ප්‍රතිසංස්කරණවලට කොන්දේසි විරහිතව විරුද්ධ වුණ පක්ෂයක් දැන් ආණ්ඩුව කරනවා. එදා ඔවුන් විරුද්ධ වුණ දේවල් තමයි අද අර්බුද නිර්මාණය කරන්නේ. විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ගිය සෑම අවස්ථාවකම ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගේ වෘත්තීය සමිති ඒ සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කළා. එදා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධව අධිකරණයට ගිය වෘත්තීය සමිති නායකයා තමයි අද ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා. ඔහු සහ ඔහු සහාය දුන් ආණ්ඩුව අද හැසිරෙන්නේ අතීතය සම්පූර්ණයෙන් අමතක කරලා. මේ සියලු අර්බුදවලට ජනතා විමුක්ති පෙරමුණ ඍජුව වගකිව යුතු බව අපි කියනවා.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලන බවට අනුර කුමාර දිසානායක සහ මාළිමාව කතෝලික සභාවට, කාදිනල්තුමාට පැහැදිලි පොරොන්දුවක් දුන්නා. පසුගිය ආණ්ඩු මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි පරිදි නොකරන බව කිව්වා. එහෙම කියලා තමයි මාළිමාව පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී කතෝලික ප්‍රජාවගේ බහුතර ඡන්දය ලබා ගත්තේ. නමුත් මාළිමාව බලයට පත්වෙලා දැන් අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. කතෝලික පල්ලියට දුන්න පොරොන්දු ඉටුකිරීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැහැ. ජනාධිපතිවරයා කිව්ව මහ මොළකරු අදත් නැහැ. මෙවැනි පසුබිමක තමයි හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සාලේ මහ මඟ දී ඉතාම මිලේච්ඡ ආකාරයෙන් අත්අඩංගුවට ගන්නේ. අපි කවුරුත් දන්නවා සුරේෂ් සාලේ කියන්නේ කවුද ? ඔහු බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ යුද්ධයේ දී මොන තරම් කාර්යභාරයක් කළා ද කියලා. ඔහුගේ ඇතැම් බුද්ධි අංශ තොරතුරු නො තිබුණා නම් යුද්ධයේ අවසානය හෝ ජයග්‍රහණය මීට වඩා වෙනස් වෙන්න, ප්‍රමාද වෙන්න තිබුණා. මෙවැනි පසුබිමක තමයි කිසිම පැහැදිලි සාක්ෂියක් නැතිව මේ විශ්‍රාමික බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට ගන්නේ. මේක ඉතාම පැහැදිලිව පුද්ගලික පළිගැනීමක් සහ කොටි ඩයස්පෝරාව සතුටු කිරීමේ වෑයමක් ලෙස අපි  දකිනවා.

  • පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශන ගැන ඔබ පසුගිය කාලය පුරාම වඩාත් උනන්දුවෙන් කටයුතු කළා. මේ පරීක්ෂණවල ප්‍රගතිය ගැන ඔබ සෑහීමට පත් වෙනවා ද ?

කිසිසේත්ම නැහැ. වත්මන් පරීක්ෂණ සිදුවෙන්නේ යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සතුටු කරන්න කියලා පැහැදිලිව පේනවා. ඒ නිසා තමයි පිල්ලේයාන් දීර්ඝ කාලයක් පුරා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත තබා ගෙන ඉන්නේ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඔහු හෝ ඔහු සමඟ කටයුතු කළ කණ්ඩායමක් කියලා ඔප්පු කිරීමේ වෑයමක් ආණ්ඩුවට තිබෙනවා. ඒ නිසා තමයි හිටපු බුද්ධි අංශ ප්‍රධානියා, සුරේෂ් සාලේ අත්අඩංගුවට ගත්තේ. මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඉලක්ක ගත දඩයමක් පස්සේ හඹා යනවා. මේක පැහැදිලිවම අනතුරක්. සමස්ත ජාතික ආරක්ෂාව අනතුරේ දමන පියවරක්.

මාළිමාවට කිසිම දේශපාලන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවක් හෝ හැකියාවක් නැහැ. නව ව්‍යවස්ථාවක්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ප්‍රතිසංස්කරණ ඔවුන් අතින් ඉටුවෙන්නේ නැහැ. වර්ෂයක කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පවත්වන බවට මාළිමාව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලි පොරොන්දුවක් දීලා තියෙනවා. ඒත් ආණ්ඩුව පළාත් සභා ඡන්දය තියන්නේ නැහැ. ඒ වගේම තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධ පොරොන්දුව. ත්‍රස්තවාදය වැළැක්විමේ පනතින් වැඩියෙන්ම බැට කෑ, පීඩාවට පත් පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. ඒ නිසාම තමයි ඔවුන් විපක්ෂ දේශපාලනය කරද්දී, කැලෑවේ දේශපාලනය කරද්දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට කොන්දේසි විරහිතව විරුද්ධ වුණේ. නමුත් අද ඔවුන් මේ පනත පසුගිය ආණ්ඩුවලට වඩා වැඩියෙන් පාවිච්චි කරනවා. තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට ඒක භාවිතා කරනවා. පිල්ලේයාන් සහ සුරේෂ් සාලේ අත්අඩංගුවට ගැනීම හරහා මේ පනත යම් යම් කණ්ඩායම් සතුටු කිරීම වෙනුවෙන් භාවිතා කරන බවක් පේනවා. ඒ වගේම මේ පනත අහෝසි කරලා ගේන්න යන පනත මේකට වඩා බිහිසුණුයි කියලා නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සහ සිවිල් සමාජය කියනවා. ඒ අනුව අපට ඉතාම පැහැදිලිව පේනවා අනුර කුමාර දිසානායක ආණ්ඩුව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ පොරොන්දුවලට වඩා හාත් පසින් ම වෙනස් දෙයක් ක්‍රියාත්මක කරනවා. අවුරුදු 60 දේශපාලන භාවිතය තුළ කතා කළ දේවල් වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් ආණ්ඩු බලය ලැබුණු පසු ක්‍රියාත්මක කරනවා.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website