මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඉන්ධන මත පනවා ඇති බදු අඩු කිරීම පිළිබඳව රජය සලකා බැලිය යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් මහතා ප්‍රකාශ කළේය.
අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඉන්ධන සැපයුම්කරුවන් සමඟ ඵලදායී සන්නිවේදනයක් පවත්වා ගැනීමෙන් සහ වැඩි කාර්යක්ෂමතාවයකින් ඉන්ධන තොග සහ බෙදාහැරීමේ පද්ධති කළමනාකරණය කිරීමෙන් එවැනි විභව අවදානම් අවම කර ගත හැකි බව හිටපු සභාපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකාව සිය ඛනිජ තෙල් අවශ්‍යතාවයෙන් සියයට 100ක් ආනයනය කරනවා. සියලුම වර්ගවල ඉන්ධන මිල දැනටමත් රුපියල් 25 කින් වැඩි කර තිබෙනවා. වත්මන් තත්ත්වය අනුව ගෝලීය තෙල් මිල තව දුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙවැනි තත්ත්වයක් තුළ ජාතියක් ලෙස අපි තීරණාත්මක පියවර දෙකක් ගත යුතුයි. අපගේ සැපයුම්දාම ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහ අපගේ සැපයුම්කරුවන් සමඟ සමීප සම්බන්ධීකරණය පවත්වා ගැනීම කළ යුතුයි. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන නෞකා ගමනා ගමනය මේ වන විට දැඩිව සීමා කර තිබෙනවා. හෝමූස් සමුද්‍ර සන්ධියට අමතරව, යේමනය සහ අප්‍රිකානු මහාද්වීපය අතර තවත් උපායමාර්ගික මාර්ගයක් ඇති අතර එමඟින් ගෝලීය තෙල් වෙළඳාමෙන් ආසන්න වශයෙන් සියයට 12ක් ප්‍රවාහනය කරනවා. මේ පසුබිම තුළ ඉරානය හෝ එහි මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් එම මාර්ගයට ද බාධා කළහොත්, ගෝලීය තෙල් ප්‍රවාහනයෙන් සියයට 35කට ආසන්න ප්‍රමාණයක් කඩාකප්පල් විය හැකියි. එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාව වැනි රටවලට දැවැන්ත පීඩනයක් එල්ල කරන බව පැහැදිලියි. එබැවින්, අපගේ සැපයුම් දාමය බාධාවකින් තොරව පවතින බව සහතික කිරීම සඳහා මේ අවස්ථාවේ දී නවීන උපායමාර්ගික පියවරයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි.
වත්මන් තත්ත්වය තුළ ඉන්ධන මත පනවා ඇති බදු අඩු කිරීම් හරහා රජයේ මැදිහත්වීමක් ඉල්ලා සිටින බව ද හිටපු සභාපතිවරයා සඳහන් කළේය.
“ඉන්ධන මිලෙහි අධික උච්චාවචනයන් වැළැක්වීම සඳහා, සමස්ත බර මහජනතාවට පැවරීමට වඩා, රජය බදු අඩු කිරීමෙන් සහන ලබා දිය යුතු බව අපේ අදහසයි” ඔහු යළි අවධාරණය කළේය.












