ගැටලු රැසකට විසඳුම් ඉල්ලා ඉන්ධන පිරවුම්හල් හිමියන් හෙට සංස්ථාව ඉදිරිපිට විරෝධතාවක
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් හිමියන් හෙට (06) පෙ.ව. 9.30 ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වන බව ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මහතා පැවසුවේය.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ මෙහෙයුම්වලට බලපාන නොවිසඳුනු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
ඔහු පැවසුවේ විරෝධතාවයට තුඩු දුන් ප්රධාන කරුණ වන්නේ වත්මන් ඔත්තේ-ඉරට්ටේ ඉන්ධන බෙදා හැරීමේ ක්රමය යටතේ පිරවුම්හල් සේවකයින් මුහුණ දෙන දුෂ්කරතා බවයි.
“මෙම ක්රමය මඟින් අපේ සේවකයින්ට සැලකිය යුතු අපහසුතාවයක් ඇති කර තිබෙනවා’” ඔහු පැවසුවේය.
ඩීසල් සහ පෙට්රල් සැපයුම් නියමිත වේලාවට ලබා දීමේ ප්රමාදයන් සහ අසාර්ථකත්වයන් හේතුවෙන් පිරවුම්හල් කාර්යක්ෂමව ක්රියාත්මක කිරීමට ගැටලු පැනනැගී ඇති බව ද ඔහු හෙළි කළේය.
පවතින ඉන්ධන මිල සූත්රය යටතේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අනෙකුත් සංස්ථා 6%ක මෙහෙයුම් ලාභයක් ලබන බවත්, ඉන්ධන පිරවුම්හල්වලට මීට පෙර 3%ක ලාභාංශයක් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
“ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව පාලන අධිකාරිය විසින් මෙම ලාභාංශය ඉවත් කර තිබෙනවා” සිල්වා මහතා පෙන්නා දුන්නේය.














