පවතින ඉන්ධන සීමාවන් මධ්‍යයේ වුවද, ඔවුන්ගේ වඩාත් ක්‍රියාකාරී රියදුරන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් සඳහා ඉන්ධන කෝටා වැඩි කරන ලෙස ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් Uber සහ PickMe රජයෙන් ඉල්ලා ඇත.
ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, ඔවුන් රජයේ මෑත කාලීන කෝටා වැඩිවීම පිළිගත් නමුත් වත්මන් ඉල්ලුමේ මට්ටම්වල මෙහෙයුම් පවත්වා ගැනීමට එය තවමත් ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කළහ.
ප්‍රවාහන, ආහාර සහ අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට ජනතාවට උපකාර කිරීමේදී තම සමාගම් විසින් විසින් ඉටු කරන තීරණාත්මක කාර්යභාරය පැහැදිලි කරමින් අදාළ සමාගම් රජයට පෙන්වා දී ඇත්තේ වත්මන් ඉන්ධන කෝටාව යටතේ අදාළ ප්‍රවාහන සේවා සැපයීම දුෂ්කර බවයි.
තම සමාගම් පුද්ගලික වාහන භාවිතය අවම කිරීමට සහ සංචාරක ව්‍යාපාරයට පුළුල් දායකත්වයක් ලබා දෙන බව අවධාරණය කරමින් Uber සහ PickMe පෙන්නා දී ඇත්තේ මෙම සේවාව හරහා පවුල් දහස් ගණනක් සිය ජීවනෝපාය ලබා ගන්නා බවයි.
එම සමාගම් විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ, “වර්තමාන සීමාවන් ලිහිල් කිරීම සඳහා ධනාත්මක පියවරක් ලෙස මාර්තු 21 වන දින සිට නිත්‍ය ඉන්ධන කෝටා වැඩි කිරීමට රජය ගත් තීරණය අපි සාදරයෙන් පිළිගනිමු. කෙසේ වෙතත්, රට පුරා සංචලනය සහ බෙදාහැරීමේ සේවා පවත්වාගෙන යාම සඳහා Uber සහ PickMe රියදුරන් විසින් ඉටු කරන අත්‍යවශ්‍ය කාර්යභාරය සැලකිල්ලට ගෙන, අවශ්‍ය පරිමාණයෙන් මෙහෙයුම් පවත්වා ගැනීම සඳහා සංශෝධිත කෝටා ප්‍රමාණවත් නොවේ. Uber සහ PickMe රියදුරන් සඳහා සතිපතා ඉන්ධන වෙන් කිරීම වැඩි දියුණු කිරීම සලකා බලන ලෙස අපි රජයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මෙම කොටස සඳහා ඉන්ධන ප්‍රවේශය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව සැපයීම සහතික කිරීමට, ජීවනෝපායන්ට සහාය වීමට සහ මෙම කාල සීමාව තුළ මෙම වේදිකා මත විශ්වාසය තබන ප්‍රජාවන් සඳහා සම්බන්ධතාවය පවත්වා ගැනීමට උපකාරී වනු ඇත.”
















