බොරුවෙන් යන්න පුළුවන් දුරක් තියෙනවා. ඊට පස්සේ රාජ්‍ය බලය රැක ගන්න මර්දනය යොදා ගන්න බලනවා. ඒත් අද ලෝකේ ඒවා කෙටි කාලීනයි. ජනතාවගේ බලය මේ සියලු මර්දනයන්ට වඩා බලවත්. මේ ආණ්ඩුව මේ ඇත්ත පිළිගත යුතුයි.
නීතිඥ සුජීව සේනසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගය, හිටපු විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
- අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත නීතිඥ සුජීව සේනසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගය, හිටපු විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය වුණා. විපක්ෂයේ තිදෙනෙක් ද ඒකට පක්ෂව ඡන්දය දුන්නා. විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වගේම හිටපු විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයෙක් ලෙස ඔබ මේ අයවැය දකින්නේ කොහොම ද ?
පුනරුද ආණ්ඩුවේ දෙවැනි අයවැය ඉතාම භයානකයි. මේක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හිතලා කරන දෙයක් නො වෙන්න ඇති. ඒත් ඔවුන්ට උරුම කරුම වෙලා තියෙන නොහැකියාව තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නතර කරපු තැනින් පටන් අරගෙන පුනරුද ආණ්ඩුව ඉදිරියට යනවා. මේ ආණ්ඩුව රට භාර ගන්න කොට උද්ධමනය තිබුණේ බින්දුවේ, දැන් ඒක ඉහළ යනවා. රට භාර ගන්න කොට 5.5%ක් පමණ වූ ආර්ථික වර්ධන වේගය අඩු වෙලා තිබෙනවා. සියලු අංශවලින් ස්ථාවර වෙලා තිබුණ ආර්ථිකය මේ වන විට දුර්වල වෙමින් තිබෙන තත්ත්වය තුළ ආණ්ඩුව විශාල අකරතැබ්බයකට මුහුණ දෙමින් සිටිනවා.
- අවුරුදු 60ක් විපක්ෂයේ දේශපාලනය කළ පක්ෂයක් තමයි වත්මන් ආණ්ඩුව. ඔවුන් පසුගිය ජනාධිපතිවරණයට පෙර රට භාර ගැනීමට සියලු ආකාරයේ සැලසුම් හදලා තිබුණා නේද ?, ඔබ කියන්නේ ඒ සියලු සැලසුම් අසාර්ථක වූ බව ද ?
අනුර කුමාර දිසනායක මහත්තයා ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන කොටත් ‘මේක කර ගන්න පුළුවන්ද ? කියන බය මුහුණේ තිබුණා. ඔහු හොඳටම බය වෙලා හිටියේ. ඇත්තම කතාව තමයි අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරයි කියලා ජනතා විමුක්ති පෙරමුණ හිතුවේ නැහැ. ඔවුන් ජයග්‍රහණය කළාට පස්සේ, රාජ්‍ය බලය ලබා ගත්තාට පස්සේ තමයි රාජ්‍ය පාලනය විවේචනයට වඩා බොහෝ අසීරු සහ අභියෝගාත්මක එකක් කියලා තේරුම් ගත්තේ. මේ බව අද ආණ්ඩුවම පිළිගන්නවා, කිසිම ලැජ්ඡාවක් බයක් නැතිව ඒ බව කියනවා.
- ඔබ කියන්නේ මේ රටේ ආණ්ඩු කළ යුත්තේ සාම්ප්‍රදායික ධනපති දේශපාලන පක්ෂ පමණක් බව ද ?

නැහැ, ඒත් ආණ්ඩුකරණය සම්බන්ධ අත්දැකීම් හා අවබෝධය තිබිය යුතුයි. උදාහරණයක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 1977 සිට ආණ්ඩු පාලනයට ඍජුව සම්බන්ධ වෙලා විවිධ අමාත්‍යධුර දරමින්, ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සහ නිලධාරීන් සමඟ කටයුතු කරමින් අත්දැකීම් ලබා තිබෙනවා. ඒ නිසා 2022 දී ජනාධිපති ධුරය භාර ගන්න කොට අර්බුදය කළමනාකරණය කර ගැනීමට කළ යුතු දේ ගැන ඔහුට මනා අවබෝධයක් තිබුණා, 2001 දෙසැම්බර් මහ මැතිවරණය ජයග්‍රහණය කර අපි, එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව භාර ගන්න කොට රට තිබුණේ ඍණ ආර්ථිකයක, ඒත් ඉතා කෙටි කාලයකින් ආර්ථිකය ස්ථාවර කරන්න අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට හැකියාව තිබුණා. ඒ වගේ 2015 දීත් ඔහු ඇතුළු කැබිනට් මණ්ඩලය ඒ අභියෝගය භාර ගෙන සාර්ථක කටයුතු කළා. ඒ ආණ්ඩුවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස අපි කිසිම බයක්, සැකක් නැතිව සියලු අභියෝග භාර ගෙන කටයුතු කළා. මේ ආණ්ඩුව වාගේ වැඩ කරමින් ඉගෙන ගන්න, වැරදි කරමින් ඉගෙන ගන්න සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ නායකයින්ට අවශ්‍ය වුණේ නැහැ. වෙනස තිබෙන්නේ එතනයි. දකුණේ දේශපාලනඥයින්ගේ සහ දේශපාලන පක්ෂවල රට සංවර්ධනය කරන්නේ කොහොමද, අර්බුද කළමනාකරණය කර ගන්නේ කොහොමද ? කියන එක ඇගේම තිබෙනවා.
- ඔබ සමගි ජන බලවේගය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ සහ එහි නායකයාගේ ගුණ ගායනා කරනවා නේද ?
රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලන අඩුපාඩු ගණනාවක් තිබෙන බව අපි පිළිගන්නවා. ජේ.ආර්. ජයවර්ධන වාගේ දක්ෂයෝ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ පුරුද්දක් රනිල් වික්‍රමසිංහ මහතාට නැහැ, ඒ දැක්ම නැහැ. ඒත් ආර්ථිකය සංවර්ධනය කරන්න, බිඳ වැටුණු ආර්ථිකයක් ගොඩ දා ගන්න ඔහුට හැකියාව තිබෙනවා. 2022 දී ඔහු සාර්ථක වුණා. ඒත් ඔහුට බලය ලබා දුන්න පිරිස සමඟ ඉදිරියට යාමට සිදු වුණා.
- සමගි ජන බලවේගයට 2024 දී බලය ලැබුණා නම් කොහොම වෙයි ද ?
ඉතාම පැහැදිලිව මේ දක්වා රට පාලනය කළ සියලු දේශපාලන පක්ෂවලට වඩා දුර ගමනක් යන්න අපට හැකියාව තිබුණා. දූෂණය 100%ක් පිටුදකින්න අපට හැකියාව තිබෙනවා. ආර්ථික හා සමාජයීය සංවර්ධනය සම්බන්ධයෙන් විශාල ඉදිරි පිම්මක් පනින්න අපට හැකියාව තිබුණා.
- වත්මන් ආණ්ඩුවටත් ඒ හැකියාව තිබෙන බව ඔවුන් කියනවා නේද ?
මේ ආණ්ඩුවට එවැනි දැක්මක් හෝ හැකියාවක් නැහැ. ඔවුන්ට තිබෙන්නේ ළදරු මනසක්. ඔවුන් කටයුතු කරන්නේ ළමයි වාගේ. රනිල් වික්‍රමසිංහ ඉතුරු කරලා ගිය මුදල් වලින් හරි හමං වැඩක් කරන්න වත් මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ. ජනතාව මත ගහන්න පුළුවන් බදු සේරම ගහලා එකතු කර ගත්ත මුදල් වලින්, අයවැයෙන් 25%කට ආසන්න මුදලක් තමයි මේ ආණ්ඩුවට වියදම් කරන්න පුළුවන් වුණේ. පරිපාලන හැකියාවක් නොමැතිකම වාගේ කාරණා මේ ආණ්ඩුවට දැඩිව බලපා තිබෙනවා.
- ආණ්ඩුව මුදල් ඉතිරි කිරීම වරදක් ද ?

ආණ්ඩුව ඉන්නේ සල්ලි ඉතිරි කරන්න නෙමෙයි, බදු හරහා එකතු කර ගන්න රාජ්‍ය ආදායම ආණ්ඩුව වැය කළ යුතුයි. සංවර්ධනය වෙනුවෙන්, ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ඒවා වැය කළ යුතුයි. එහෙම කළොත් පමණයි රටක් ඉදිරියට යන්නේ, ජනතාවට සුභසාධන පහසුකම් හා සේවා ලැබෙන්නේ. අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන, විශේෂයෙන් ප්‍රාග්ධන වියදම් නොකර ඉන්නවා කියන්නේ රටේ සංවර්ධනය අඩාල වෙනවා කියන එක. මේ මුදල් ආර්ථික ප්‍රවාහයට එක් නොවුනොත් රටේ සංවර්ධනය අඩාල වෙනවා විතරක් නෙමෙයි ජනතාවට, ව්‍යාපාරිකයින්ට ඇතුළු රටේ සියලු අංශවලට ගලා යන මූල්‍ය ප්‍රවාහයක් අඩපණ වෙනවා. මේක රටකට යහපත් තත්ත්වයක් නොවෙයි. මේ වන විටත් සංකෝචනය වෙලා තිබෙන ආර්ථිකය ප්‍රසාරණය වීම ඇණහිටිනවා. පසුගිය අයවැයෙන් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ මුදල් වලින් 75%කට අධික ප්‍රමාණයක් වැය නොකර ඉන්නවා කියන්නේ ආණ්ඩුව අසමත් වුණා කියලා ලෝකය හමුවේ කියා පෑමක්. මේක සතටු විය හැකි වාතාවරණයක් නෙමෙයි.
- 2026 අයවැයෙන් සංවර්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා ද ?
නැහැ, කර්මාන්ත, නිෂ්පාදනය සඳහා වෙන් කරලා තිබෙන්නේ 2%ක් වැනි ඉතාම සුළු මුදලක්. මේක 15%ක් දක්වා වර්ධනය නොකර ආර්ථිකය ගොඩ දා ගන්න බැහැ. මේ අයවැයේ පොඩි පොඩි සිල්ලර වැඩ ටිකක් හැරෙන්න ආර්ථිකය වර්ධනය කරන යෝජනා නැහැ.
- ඔබ කියන්නේ 2028 වන විට විදේශ ණය ගෙවන්න මේ අයවැයෙන් ප්‍රමාණවත් සහායක් නොලැබෙන බව ද ?
පැහැදිලිවම ඔව්, ලෝක බැංකුවේ පුරෝකථනවලට අනුව 2025 ආර්ථික වර්ධන වේගය 3.2%යි. ඒ පුරෝකථනය හරියටම හරි. ලෝක බැංකුවට වැරදුණේ නැහැ.
- ඒත් මේ ආණ්ඩුව ආර්ථික වර්ධන වේගය ගැන විවිධ සංඛ්‍යා ඉදිරිපත් කරනවා නේද ?
ඔව්, ලෝක බැංකුව වාහන ආනයනය ගැන අවධානය යොමු කළේ නැහැ. ඩොලර් බිලියන 1.5ක වාහන ආනයනය කළ විට ආණ්ඩුවට රුපියල් බිලියන 700ක පමණ බදු ආදායමක් ලැබුණා. වාහන ආනයනයට වැය කළාට වඩා දෙගුණයක බදු ආදායමක් ලැබුණා. මේ වාහන ආනයන බදු තමයි 2025 රාජ්‍ය ආදායමේ විකෘතියක් ඇති කළේ.
- මේ තරම් විශාල බදු ආදායමක් ලැබීම යහපත් දෙයක් නේද ?

නැහැ, මේ විකෘතිය හරහා අංශ තුනකින් ඍණාත්මක බලපෑම් එල්ල වෙනවා. වාහන ආනයනය හරහා ආර්ථික වර්ධන වේගය ඉහළ යමින් ආර්ථික වර්ධන වේගය ඉහළ ගිය බව මවා පානවා. මේක කිසිසේත්ම ධනාත්මක වර්ධනයක් නෙමෙයි. වාහන ආනයනය ආර්ථික සංවර්ධනයට දායක වෙන්න නම් ආනයනය කළ වාහන ට්‍රැක්ටර්, ලොරි, කෘෂිකාර්මික යාන්ත්‍රෝපකරණ ආදි ප්‍රාග්ධන භාණ්ඩ විය යුතුයි, රටේ නිෂ්පාදනයට දායක වන වාහන විය යුතුයි. නමුත් මේ ආනයනය කරලා තියෙන්නේ අධි සුඛෝපභෝගී වාහන, ඒ වගේම මේ ආනයනය වාහනවලින් අති බහුතරයක් මිලදී ගන්නේ බැංකු ඇතුළු මූල්‍ය පද්ධතියෙන් ලබා ගත් ණය පහසුකම් යටතේ. මේ හේතුව නිසා මොකද වෙන්නේ ?, රටේ සංවර්ධනයට දෙන්න තිබෙන මුදල් පුද්ගලික පරිහරණයට ආනයනය කළ වාහන වෙනුවෙන් ලබා දෙනවා. සංවර්ධනය වෙනුවෙන් ණයට දෙන්න මුදල් බැංකුවල නැහැ. මෙවැනි පියවර හේතුවෙන් කර්මාන්තකරුවෝ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ පීඩාවට පත් වෙනවා. ඒ නිසා වාහන ආනයනය හරහා අනපේක්ෂිතව අති දැවැන්ත මුදල් බදු වශයෙන් උපයා ගැනීම ආර්ථිකයට යහපත් තත්ත්වයක් නොවෙයි.
- ඔබට අනුව ආණ්ඩුවට වැරදුණේ කොතැනද ?
ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 60ක් පුරා කළේ උද්ඝෝෂණ කිරීම, කඩාකප්පල් කිරීම, විරුද්ධ වීම වාගේ දේවල් පමණයි. ඔවුන් පසුගිය 60 වසර පුරාම කිසිවක් ඉගෙන ගත්තේ නැහැ. ඔවුන් දන්න, කළ එකම දේ දේශපාලනය. වෘත්තීය සමිති හරහා ආයතන කඩාකප්පල් කිරීම, විනාශ කිරීම, පාරවල් වහ ගෙන උද්ඝෝෂණය කිරීම. ඔවුන් රටක් කරන ආකාරය, ආණ්ඩුකරණය ඉගෙන ගත්තෙම නැහැ. ආණ්ඩු කඩාකප්පල් කරන එකම තමයි අවුරුදු හැටක් පුරාම කළේ. ඔවුන් දන්නේ එච්චරයි.
- නමුත් අපිට මතකයි වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ සිටියදී නිතරම කියනව ‘එක පාරක් අපට දීලා බලන්න’ කියලා. ජනතාව නේද මේ තීන්දුව ගත්තේ ?
ඔව්, ජවිපෙ අවුරුදු හැට පුරාම රාජ්‍ය බලය ඉල්ලුවා. අපිට දුන්නොත් කරලා පෙන්වන්නම් කියලා කිව්වා. කෑගහලා කෑගහලා ආණ්ඩුව කියන වාහනේ ඉල්ලුවා. හොඳට, තිතට දුවලා පෙන්නන්නම් කියලා කිව්වා. ඒත් වාහනේ දුන්නට පස්සේ මොකද වුණේ ?, සුක්කානම අතට ගත්තට පස්සේ බය වුණා. වාහනයක් එලවන එක ගැන නෙමෙයි වාහනයක් ගැන පවා මෙලෝ අබෝධයක් තමන්ට නැති බව ඔහුට තේරුණේ සුක්කානම අතට ගත්තට පස්සේයි. මේක තේරුණාට පස්සේ ජනාධිපතිවරයා මොකද කළේ ?, තමන්ට හිතවත්, තමන්ගේ විශ්වවිද්‍යාලයේ යාළු නිලධාරීන් ටිකක් දාගෙන මේක එලවන්න හදනවා. ඒත් ඒ වැඩේ අසාර්ථක බව දැන් ඉතාම පැහැදිලිව පේනවා. මෙයාලාට ඩ්‍රයිවින් විතරක් නෙමෙයි වාහනයක් ගැන පවා කිසිම අවබෝධයක් නැති බව රටට හෙළි කළා.
- ඔබ කියන ආකාරයට රට පාලනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නිලධාරීන් ද නැතිනම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සම්බන්ධ නිලධාරීන් ද ?
හිටපු ජනාධිපතිවරයාට සමීප නිලධාරීන් කිහිප දෙනෙක් තමයි ඉදිරියෙන්ම ඉන්නේ. අනුර කුමාර දිසානායක ආණ්ඩුව බාර ගන්න කොට මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය ඇතුළු තීරණාත්මක ආයතනවල මුල් පුටුවල හිටිය නිලධාරීන් තමයි කාලයක් ගතවන තුරු හිටියේ. ඔවුන්ට එවැනි තීරණාත්මක තැන්වලට දාන්න තරම් පළපුරුදු නිලධාරීන් හිටියේ නැහැ.
- ඔබ කියන ආකාරයට ආණ්ඩුවේ අසාර්ථකත්වයට හේතුව රනිල්ගේ නිලධාරීන් ද ?
නැහැ, ඔවුන් කිහිප දෙනාට මේ වැඩේ තනියම කරන්න බැහැනේ. අනෙක් තැන්වලින් නිසි සහයෝගයක් නොලැබෙන කොට ඔවුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. ආණ්ඩුකරණය කියන්නේ සාමූහික කටයුත්තක්. තනි ගමනකින් කරන්න පුළුවන් දෙයක් නැහැ. මුදල් අමාත්‍යාංශයට, මහා භාණ්ඩාගාරයට පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ. ඒ වගේම තවත් වැදගත් දුර්වලතාවක් මේ ආණ්ඩුවට තියෙනවා. මේ ආණ්ඩුව හරිම උද්දච්චයි. කිසිම මානුෂික හැඟීමක් නැහැ. නිලධාරීන් එක්ක වැඩ කරන්න දන්නේ නැහැ, පුරුද්දක් නැහැ, නිලධාරීන්ට බැණලා පන්නනවා, තර්ජනය කරනවා. ඒ වගේම මේ අයට වැඩ තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ අය එක්ක වැඩ කරන්න නිලධාරීන් කැමැතිත් නැහැ.
- ඔබ මෙවැනි කතාවක් කියන්නේ අත්දැකීම් එක්ක ද ?

ඔව්, මම 2015 යහපාලන ආණ්ඩුවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළා, අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. විදේශ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. මට ඒ සෑම අමාත්‍යාංශයකම නිලධාරීන්ගේ පූර්ණ සහාය ලබා ගන්න පුළුවන්කම තිබුණා, ඒ වගේම අපට නිලධාරීන්ගේ පූර්ණ සහාය ලැබුණා, ඔවුන් කැපවීමෙන්, අවබෝධයෙන් කටයුතු කළා. වැඩ කඩාකප්පල් කළේ නැහැ, වගකීම් භාර ගන්න බය වුණේ නැහැ. ඒ නිසා මිල්ලනිය කර්මාන්තපුරය ඉතාම කෙටි කාලයක් තුළ යථාර්ථයක් කර ගන්න මට හැකියාව ලැබුණා. මාස හත අටකින් එහි සියලු ම යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අපට පුළුවන් වුණා. අපිට මේ ආකාරයෙන් සාර්ථක වෙන්න පුළුවන්කම ලැබුණේ අපි නිලධාරීන්ට අවශ්‍ය ගෞරවය සහ පිළිගැනීම ලබා දුන්න නිසයි. ඒ සඳහා අපටත් අත්දැකීම් සහ දැනුම තිබිය යුතුයි. ඉගෙන ගන්න වැඩ කරන්න බැහැ, දැනුම සහ අවබෝධය නැතිව, උද්දච්ඡකමයි මහන්තත්ත්වයයි තියාගෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් වැඩක් ගන්න බැහැ. මේ ආණ්ඩුවට වැරදුණේ මේ නිසයි.
- ඒත් ආණ්ඩුව කියන ආකාරයට විදේශ ආයෝජන ප්‍රමාණවත් තරම් ලැබිලා තියෙනවා නේද ?
සම්පූර්ණ බොරු. මේ ආණ්ඩුව යටතේ විදේශ ආයෝජන ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 50ක් පමණයි. අනෙක් සේරම ආයෝජන පසුගිය ආණ්ඩු කාලේ ගිවිසුම් ගත වුණ ආයෝජන. මේ ආණ්ඩුවට ඇමෙරිකාවෙන්, චීනයෙන්, ඉන්දියාවෙන් වගේම රැසියාවෙන් පවා කිසිම සහයෝගයක් නැහැ. විදේශ ආයෝජන එන පාටක් පවා පේන්න නැහැ. ඉදිරියේ දී තත්ත්වය මීට වඩා හානිකර වෙයි.
- විපක්ෂය මොනවා කිව්වත් හොරු අල්ලන එක වගේම නීතියේ විධානය නිවැරදිව ක්‍රියාත්මක වෙන බව ආණ්ඩුව කියනවා. විපක්ෂයට මේ වෙනස්කම් පේන්නේ නැද්ද ?
පොලිසිය, අල්ලස් කොමිෂම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමයි මේ ආණ්ඩුවේ නොහැකියාව, අසාර්ථකත්වය වහ ගන්න පාවිච්චි කරන්නේ. ආණ්ඩුවේ නිරුවත වහ ගන්නේ මේ ආයතන තුන හරහා තමයි.
- මත්ද්‍රව්‍යවලට එරෙහි ආණ්ඩුවේ දැවැන්ත වැඩපිළිවෙළ ගැනවත් විපක්ෂයට යහපත් අදහසක් නැද්ද ?
ආණ්ඩුව කොළේ ඉරාගෙන ඉවරයි. පසුගිය කාලේ අල්ල ගත්ත කුඩු ජාවාරම්කායෝ හය දෙනාම මාළිමාවේ. වරායෙන් පන්නපු කන්ටේනර් 323 මොනවා තිබුණ ද කියලා අපි තාම දන්නේ නැහැ.
- විපක්ෂය මොනවා කිව්වත් ජනතාව අතර ආණ්ඩුවට ඇති පිළිගැනීම අඩු වෙලා නැහැ නේද ?
ඒක බලා ගන්න නම් මිනිස්සු එක්ක කතා කරන්න ඕනෑ. දැන් බහුතරයක් ජනතාව කියන්නේ තමන් රැවටුණු බවයි. ජවිපෙ පචවලට අහුවුණ බවයි.
- පාර්ලිමේන්තුව තුළ විපක්ෂය ඉතාම දුර්වලයි නේද ? අපි දකින්නේ ආණ්ඩුව බයේ කට අරින්නේ නැති විපක්ෂයක්. විපක්ෂය මේ වාගේ තැනකට වැටුණේ ඇයි ?

මේ ආණ්ඩුව බලයට පත් වුණ ගමන් විපක්ෂයේ දේශපාලනඥයින් සහ ඔවුන්ට හිතවත් කියලා හිතෙන නිලධාරීන් හිරේ දාන්න ලොකු උත්සාහයක් ගත්තා. මේ වාගේ බිය ගැන්වීම් කළේ හිට්ලර්ගේ පොලිසිය, ගෙස්ටාපෝ එක. මේක ගෙස්ටාපෝ ආණ්ඩුවක්නේ. හිට්ලර්ගේ කාලේ ගෙස්ටාපෝ වැඩ හරි ගියාට ඒක අද කාලෙට ගැළපෙන්නේ නැහැ. සන්නිවේදන තාක්ෂණයේ දියුණුව, සමාජ මාධ්‍ය දියුණුව නිසා අද හිට්ලර් පන්නයේ මර්දනකාරී වැඩ හරි යන්නේ නැහැ. මේ ආණ්ඩුව තාම දුවන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය පස්සේ, ගොබෙල්ස් න්‍යාය අනුව ප්‍රචාරක යාන්ත්‍රණය ඉදිරියට ගෙනි යන්න හදනවා. එකම බොරුව දිගින් දිගටම කියනවා. මේවා අවුරුදු 60, 70කය ඉස්සර වැඩ කරන්න ඇති. නමුත් වර්තමානය ඊට වඩා හාත්පසින්ම වෙනස්. මෙයාලාට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් දිනා ගෙන බලයට පත් වුණ ගෝඨාභය රාජපක්ෂයට වුණ දේ දැක්කනේ. බංග්ලාදේශයේ, නේපාලයේ සිද්ධ වුණ දේ දැක්කනේ. දැන් මිනිස්සු බොරුව ඉවසන්නේම නැහැ.
- ව්‍යවස්ථාපිත මර්ධනයක් ගැන විපක්ෂය චෝදනා කරන්නේ ඇයි ?
බොරුවෙන් යන්න පුළුවන් දුරක් තියෙනවා. ඊට පස්සේ රාජ්‍ය බලය රැක ගන්න මර්දනය යොදා ගන්න බලනවා. ඒත් අද ලෝකේ ඒවා කෙටි කාලීනයි. ජනතාවගේ බලය මේ සියලු මර්දනයන්ට වඩා බලවත්. මේ ආණ්ඩුව මේ ඇත්ත පිළිගත යුතුයි.
රතුඉර පුවත්පතේ 2025 නොවැම්බර් 23 කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.
සටහන – භාතිය බරුකන්ද















