අමරකීර්ති අතුකෝරාළ ඝාතතනයට මරණ දණ්ඩනය ලැබූවන්ගේ ඥාතීන්ගේ මීළඟ පියවර ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතන නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විත්තිකරුවන්ගේ ඥාතීහූ පවසති.

තමා ද ඇතුළු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණ නඩු තීන්දුවක් බලාපොරොත්තු වන බව දඬුවම් ලැබෙන සිටින අයෙකුගේ බිරිඳක් ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතන කිරීම සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන්ගේ ඥාතීන් පිරිසක් අද (23) මේ සම්බන්ධයෙන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සමඟ සාකච්ඡාවක් කළහ. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔවුහු මේ බව හෙළි කළහ.

මෙහි දී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කාන්තාවක ප්‍රකාශ කළේ තමා ද ඇතුළු පිරිස ත්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුවට ගරු කරන බවයි. නමුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු චූදිතයින් නිදොස් කොට නිදහස් කිරීමට සිය තීන්දුව දුන් බවත් එම තීන්දුව හේතුවෙන් තමන්ට නව බලාපොරොත්තුවක් ඇති වූ බවත් ඇය කීවාය.

“අපි ත්‍රිපුද්ගල අධිරණයෙන් ලබා දුන්න තීන්දුවට හිස නවා ආචාර කරනවා. එක විනිසුරුවරයෙක් මේ ගොල්ලන්ව නිදොස් කොට නිදහස් කළා. එයා අපිට බලාපොරොත්තුවක් දුන්නා. තවත් චාන්ස් එකක් තියෙනවා මේ ගොල්ලන් වෙනුවෙන් කියලා. ඒ චාන්ස් එක තමයි අපි ගන්නේ, අභියාචනයක් දාලා මේ 12 දෙනාව එළියට ගන්න එක තමයි අපේ එකම බලාපොරොත්තුව. අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවේ. දරුවන් ඉන්න අම්මලා ගොඩාක් ඉන්නවා. අපි අද ආවේ ජනාධිපතුමා හමුවෙලා, අපිට වුණ අසාධාරණය කියලා ලිඛිතව ලියුමක් භාර දෙන්න” ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website