ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හැකි පරිසරයක් ඇති කිරීම සඳහා ද මහජනතාවට කැමති ස්ථානයක නිදහසේ ගමන් කිරීමට ඇති හැකියාව ආරක්ෂා වන ආකාරයට අවශ්‍ය පරිසරය සකස් කිරීම සඳහා පැය 24 පුරාම කැපවීමෙන් රාජකාරි කරනු ලබයි.
මෙම සාමකාමි තත්ත්වය පවත්වාගෙන යාම සඳහා දිවයින පුරා පිහිටි සියළුම පොලිස් වසම් ආවරණය වන පරිදි යොදවා ඇති නිලධරයන් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කටයුතු කරනු ලැබුවද මහජනතාවගේ නොසැලකිලිමත්කම මත හෝ නොදැනුවත්කම මත අවබෝධයෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් බරපතල අපරාධ වල වින්දිත තත්ත්වයට පත්වීම හෝ යම් විටක ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන අවස්ථාවන් ගණනාවක් මෑත කාලීන සිදුවීම් විශ්ලේෂණය කිරීමේදී ශ්‍රී ලංකා පොලිසිය නිරීක්ෂණය කර ඇත.
මෙයට ආසන්නතම උදාහරණය ලෙස කොක්අඩිචෝලේ පොලිස් වසමේදී කාන්තාවන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී පැහැරගෙන ගොස් යම් දියරයක් පානය කිරීමට සලස්වා සිහිසුන් තත්ත්වයට පත්කර ඔවුන්ගේ රන් භාණ්ඩ කොල්ලකා එක් කාන්තාවක් ඝාතනය කිරීම සහ අනෙක් කාන්තාව ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධීන් පෙන්වා දිය හැක.
මෙම සිද්ධිය හා මෙයට සමාන තවත් සිද්ධීන් විශ්ලේෂණය කිරීමේදී මහජනතාව වශයෙන් පහත කරුණු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසත් එදිනෙදා ජීවිතයේදී දැඩි අවධානයෙන් යුක්තව කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
- අපරාධකරුවන් විසින් මහජනතාව ගැවසෙන පොදු ස්ථානවලදී හෝ පොදු ප්‍රවාහන සේවාවලදී ඉතා සුහදශීලී ලෙස පුද්ගලයන්ට සමීප වීම.
- සමීප මිතුරන් මෙන් රඟපාමින් විශ්වාසය දිනා ගැනීම.
- මත් වීමට යොදාගන්නා ද්‍රව්‍යයන් මිශ්‍ර කරන ලද ටොෆි, චොකලට්, වෙනත් ආහාර හා බීම වර්ග හෝ පානීය ජලය ලබා දීම.
- විෂ ස්ප්‍රේ වර්ග, මිරිස් කුඩු වැනි ද්‍රව්‍යයන් භාවිතා කර පුද්ගලයින් අඩපන කිරීම.
ඉහත අවස්ථාවන්වලට ඔබ වින්දිතයෙකු නොවීමට මෙම කරුණු කෙරෙහිද සැළකිලිමත් වන ලෙසටද දැනුවත් කරනු ලැබේ.
- මහාමාර්ගවලදී හෝ පොදු ස්ථානවලදී නාඳුනන පුද්ගලයන් ලබාදෙන ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේදී සැළකිලිමත් වීම.
- නාඳුනන පුද්ගලයින් ලබාදෙන කිසිදු ආහාරයක් හෝ පානයක් අනුභවය හෝ පානය කිරීම කිසිම හේතුවක් මත නොකල යුතු බව.
- යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් තමන් වෙත අනවශ්‍ය ලෙස සමීප වීමට උත්සාහ කිරීම.
- තමන් සන්තක මුදල්, රන් භාණ්ඩ ආදිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම.
- ඔබට නිරීක්ෂණය වන යම් සැකකටයුතු පුද්ගලයෙකු, වාහනයක් හෝ යම් ස්ථානයක අපරාධයක් සිදු වන බවට හැඟෙන්නේ නම් වහාම 119, 118 හෝ ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට හෝ පුරවැසියෙකුට දැනුම් දීම.
ශ්‍රී ලංකා පොලිසිය පෙන්වා දෙනු ලබන ඉහත උපදෙස් හා මඟ පෙන්වීම් සම්බන්ධව නිසි අවබෝධයකින් යුතුව බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක් බව ශ්‍රී ලංකා පොලිසිය පෙන්වා දෙනු ලබන අතර මෙවැනි අපරාධ වළක්වා ගැනීම සඳහා මහජනයා සතු අවබෝධය වඩාත් තහවුරු කර ගැනීමටත් ඔබ සමීපතමයන්ද මෙවැනි අනතුරකට පත් නොවීම සඳහා මෙම පණිවිඩය පිළිබඳ තවකෙකු දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
https://web.facebook.com/srilankapoliceofficial/?_rdc=1&_rdr#














