උද්ගතව ඇති ලෝක ඉන්ධන අර්බුදය හමුවේ පාසල්වල දෛනික පරිපාලනය හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අද (17) විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතාගේ අත්සනින් නිකුත් කළ මෙම නිවේදනය, සියලුම පළාත් ලේකම්වරුන්, සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, සියලුම කලාප අධ්‍යාපන අධයක්ෂවරුන්, සිලුම කොට්ඨාශභාර නියෝජ්‍ය/සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරුන්, සියලුම පරිවේණාධිපතිවරුන් සහ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
- සියලුම පාසල් සතියකට දින හතරක් පමණක් ක්‍රියාත්මක වන බවත්, නැවත දැනුම් දෙන තුරු, සෑම බදාදා දිනයක් පාසල් නිවාඩු දිනයක් ලෙස සලකනු ලබන බවත් තීරණය කර ඇත. සෑම බදාදා දිනකම, විදුහල්පතිවරුන් සුදුසු පරිදි පැවරුම්/අභ්‍යාස/සංශෝධන ලබා දිය යුතු අතර එමඟින් සිසුන්ට නිවසේදී ස්වයං ඉගෙනුම් කටයුතුවල නිරත විය හැකිය.
- පාසල් විෂය නිර්දේශය ආවරණය කිරීමට ඇති කාලය සීමිත බැවින්, පාසල විසින්ම හෝ බාහිර ආයතන විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් හෝ උත්සව සඳහා පාසල් වේලාවන් භාවිතා නොකළ යුතුය.
- පාසල් උත්සව හෝ මාසිකව පවත්වනු ලබන වැඩසටහන් සඳහා, විදුහල්පතිවරුන් හැකිතාක් ඉන්ධන පරිභෝජනය අවම කිරීමට ක්‍රියා කළ යුතු අතර, වාහන පෙළපාළි වැනි ඉන්ධන අධික ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවනු ලැබේ.
- පාසල් අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීම හෝ ඉදිරි දින සඳහා දැනටමත් සැලසුම් කර ඇති සංචාර සඳහා සිසුන් සම්බන්ධ කර ගැනීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවනු ලැබේ.
මෙම මාර්ගෝපදේශ පිළිපැදීමෙන්, මෙම කාලය තුළ පාසල් ඉගෙනුම් ක්‍රියාවලිය බාධාවකින් තොරව කරගෙන යාමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.















